ක්‍රියාදාම හා යුද්ධ (Movies)දෙමළ (Movies)

“විජෙයි” ට රඟපාන්න පුලුවන් ද..?

Sarkar (2018) | 7.5/10 IMDB

ඔබ අකමැති දේට මම කැමති වන්නට පුලුවන. මම අකමැති දෙයකට ඔබ කැමති වන්නට පුලුවන. එය ඔබේ සහ මගේ අයිතියයි. ඒ අයිතියට ගරු කරමින්, ඔබේ අදහසුත් පහතින් දක්වන ලෙස ඉල්ලමින්ම මේ ලිපිය පටන් ගන්නේ ඔබ සමහරෙක්ට මගේ මේ ලිපිය නොදිරවන බව දන්නා නිසාය. අතිශය නොවුනද මධ්‍යම ප්‍රමාණයේ දමිළ සිනමා රසිකයෙක් වන මම බොහෝ දෙනා අතින් විවේචනය වන දමිළ සිනමාවේ සමහර කොන් වලට අතිශයින්ම ආදරය කරමි.

මේ කතාව දමිළ සිනමාව ගැන නොවේ. දමිළ සිනමාවේ අතිශය ජනප්‍රිය වීරයෙක් වන විජෙයිගේ නවතම සිනමා පටය ගැනයි. ඔව් ඒ “සර්කාර්”.

කම්මැලි නොවන උද්යෝගිමත් රාත්‍රියක මම “සර්කාර්” නැරඹුවෙමි. මසාලා සිනමා විරෝධියෙක් නොවන මම “සර්කාර්” දුටු විදිහ ඔබට විස්තර කරන්නට මට අවසර දෙන්න.

සර්කාර් හොඳ Plot එකකි. විශේෂයෙන්ම ඉන්දියාව වැනි රටක (ශ්‍රී ලංකාව කියාද වෙනසක් නැත) මෙවැනි කතා Mortivational Plots බවට පත් වේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල ඇත්තටම විය යුතු දේශපාලන වෙනස මෙය යැයි කියන්නට මම හදිස්සි නොවෙමි. එහෙත් එය ඉතා හොඳ ගැලපෙන වෙනසකි.

නමුත් ගැටලුව ඇත්තේ එහි නොවේ. මේ කතාව අපට පෙන්නන විදිහේය. විජෙයි ගැන කීම පසුවට තබම්. මුලින් මේ කතාව අප වෙත ගෙන එන අයුරු දෙස බලමු. චිත්‍රපටයේ මුල් දර්ශනය වන අර ආයතනයේ දර්ශනය චිත්‍රපටය යන අත ගැන අපට මනා විග්‍රහයක් ගෙන දෙයි. ඒ “දෙපෙත්ත” ට අනුව නම් සර්කාර් “හැදෙන ගහක්” නොවන බවනම් පැහැදිලි වුණි. කොහේ හෝ එකෙක් එන නිසා ඒ රටේ ආයතන කම්පා වීමත්, ඒකා ඒ යන යන රටවල ලොකු ආයතන වල වැටීමට හේතුව වීමත් කියන අයුරු හාස්‍යජනකය. එය අතාත්වික බව මම නොපවසමි. එහෙත් එය කියන යුරුම සහ ඒ දර්ශනයේ ස්වභාවයම එහි අතාත්වික බව අපට කියා දෙන්නාක් වැනිය.

එතැනින් ඇරඹෙන චිත්‍රපටයේ කතාව සමහරක් තැන් වලදී එහා මෙහා වුවද කතාව එක එල්ලයක තබා ගන්නට අධ්‍යක්ශකවරයා සමත් වෙයි. කුතුහලය යම් තාක් දුරට රඳවා ගන්නටද ඔහු සමත් වී තිබුණි. එය අගය කල යුතුය.

එහෙත් ප්‍රධාන කාන්තා චරිතයට නිළියක් ගත්තේ අපරාදේය. ඇයගෙන් කතාවට වූ කිසිඳු සෙතක් නොමැත. එය ආදර කතාවක් (හෝ ඒ වගේ එකක්) එබ්බිය යුතුම නිසා ඔබන ලද චරිතයක් මිස වෙන මොකුත්ම නොවේ.

විජෙයිගේ රංගන භූමිකාව අතිශය ජුගුප්සාජනක බව කියමි. භාවිතා කරන්නට වෙන වචනයක් මට නොදැනේ. ඔහුට රඟපාන්නට නොහැකි බව මම විශ්වාස නොකරමි. එහෙත් මෙතැනනම් ඔහු නිසැකයෙන්ම ෆේල් ය. තරුවක් ලෙස ඔහු වටා බැඳුණු ප්‍රේක්ශක භක්තිකයන්ට හුරේ දමන්නට මොරාල් අප් වෙන දර්ශන කිහිපයක් සපයා තිබුණා විනා ඔහුගේ රංගනයේ ගත යුත්තක් මටනම් නොවීය. එය විජෙයි විසින් ගැලරියට කල තවත් රංගනයක් පමණි.

Movie Still from Sarkar (2018)

මෑතක සිට විජෙයිගේ බොහෝ සිනමාපට විජෙයිගේ පෞර්ශය ඉහල නංවා ගැනීම උදෙසා නිර්මාණය වන බව නොරහසකි. විජේගේ අරමුණ දේශපාලනයට ඒම බවත් නොරහසකි. පසුගිය දිනෙක මාධ්‍ය විජේගෙන් දේශපාලනය ගැන ඇසූ විට විජේ උත්තර දුන්නේ මෙහෙම.

“මම කවදාවත් කියල නෑ මම දේශපාලනයට එන්නෙ නෑ කියලා. මට දේශපාලනය ගැන ආසාවක් තියෙනවා. ඒත් ඒක සාගරේ වගේ තැනක්”

මේ කතාව ඇතුලෙ තවත් අතුරු කතා රාශියක් ඇති බව පෙනෙන්නට ඇත. විජේගේ අරමුණ දේශපාලනයට ඒම බව පෙනේ. “සර්කාර්” යනු එවැනි ඇජෙන්ඩාවක තවත් එක් චිත්‍රපටයක් බව මම කියමි. මේ කතාව කෙලෙස ඔබ පිලිගනීදැයි මම නොදනිමි. දමිළ සිනමාවට ආදරය කරන මටනම් හිතෙන්නේ මේ දේශපාලන සිහිනය නිසා විජෙයි අතින් දක්ශ නලුවෙක් ගිලිහී යමින් ඇති බවත් හුදෙක් ගැලරිය පිනවන්නෙක් පමණක් දැන් ඉතුරුව ඇති බවයි.

මේ කතා සියල්ල ඔබම බලා විඳ තීරණය කරගන්නට කියා ඉල්ලමි.

Trailer එක මෙතැනින්

මහේල හෙට්ටිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි