Moviesඅපරාධ (Movies)නාට්‍යමය (Movies)සංගීතමය (Movies)හින්දි (Movies)

ඇස රැවටෙන සුළු අන්ධ බව – ANDHADHUN (Spoiler Alert)

Andhadhun (2018) |8.7 / 10 : IMDB

හා හා හරි හාවා
කැළේ මැදින් ආවා
ඉඳගෙන ගඟ ගාවා
වටපිට ඇහැ ළෑවා…

ෆිල්ම් එකේ මුල් විනාඩි කීපය බලද්දී මගේ ඔළුවට ආවේ පොඩි කාලේ නිතරම වාගේ ඇහිච්ච ඔය සිංදුව.

හොඳට හැදිච්ච ගෝවා වගාව හාවෙක් ඇවිත් කනවා මෙන්න. පොඩ්ඩක් ඉන්න… මම මේ හරි ෆිල්ම් එකද බලන්නේ නැත්නම් මට වැරදුනා ද?

මෙන්න වගාව බලාගන්න ගොවියා තුවක්කු වත් අරං හාවා පස්සෙ පන්නනවා හැල්මේ. තිබ්බා නේද වෙඩි. වෙලාවට හාවා බේරුණා. මෙන්න ආයෙත් වෙඩි තියනවා. ඒකත් වැදුනේ නෑ. හාවා ගේ වෙලාව හොඳයි වගේ අද. හෑ හාවාගේ එක ඇහැයිපේන්නේ. වැදුනේ නේද හාවා පඹයාගේ. පුදූමයි වෙඩි පාරවල් වලින් බේරුණා.

“ ඔය මොකද හාවෝ, පාරේ අයිනට වෙලා ඉන්නේ. ඉක්මනට අනිත් පැත්තට පනින්න. නැත්නම් වෙඩි කන්න තමයි වෙන්නේ.”

” ඩෝං !”

Andhadhun පෝස්ටරය

සංගීතය අපව අන්ධ කරවයි

ආකාශ් අපිට කියන්නේ..,

ඔබ අන්ධ පුද්ගලයෙක් නම්, රාත්‍රිය හා දහවල කියා වෙනසක් නැත. හොඳින් ඇහුම්කන් දුන්නොත් මෙලොව තුල ඇති සෑම ශබ්දයකම සංගීතය අන්තර්ගත වන බව ඔබට වැටහෙනු ඇත. අන්ධ අයට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැන හැමෝම වගේ දන්නවා. මම කියන්න ද අන්ධ වීමේ වාසිය මොකක්ද කියලා. අවධානය (focus); අවධානය තමයි අන්ධ කලාකරුවන් ට වැදගත් ම. කලාව, කලාකාරයෙකුගේ ජීවිතය අර්ථවත් කරනවා. හැබැයි ඒ සඳහා ඔහු හෝ ඇය මහන්සි වෙන්න ඕන. කැප වෙන්න ඕන

ඇත්තටම ආකාශ් හිතෙන්නේ..,

මට හොඳට පියානෝ වාදනය කරන්න පුළුවන්. ඒත් කව්රුවත් මගේ දක්ෂතා අගේ කරන්නේ නෑ. මාව ගණන් ගන්නේ නෑ. මගේ රාත්‍රිය වගේම දහවල් මගේ පියානෝ එක විතරයි. මම සංගීතයට වශී වෙලා ඉන්නේ. ඇත්තටම කිව්වොත් මම සංගීතයෙන් අන්ධ වෙලා ඉන්නේ. ඉතින් මම ඇත්තටම අන්ධ වුණොත් මිනිස්සු මාව අගේ කරයි මාව පිළිගනියි. මම අන්ධයි වගේ රඟපාන වා. ඔව් ඒක තමයි මම මගේ සංගීත දිවියට කරන මහන්සි ය නැතිනම් කැපකිරීම.

දෑසම පෙනෙන අන්ධ වූ ආදරය..!

සිමි ගේ කකුළු රෙසිපිය

අපිට සිමි කියන දේ..,

කකුළුවා ව එක පාරටම නටන වතුර ට දැම්මොත් අනිවාර්යයෙන්ම සතා මැරෙයි. සතා එකපාරටම මැරෙනවා ට මම කැමති නෑ. ඒක නිසා ම උයන්න පැය 2 කට කලින් මම සතාව අධිශීතකරණය ට දානවා. කකුළුවා සීතලත් එක්ක හොඳට නිදාගනියි. අන්න එතකොට තමයි මම ඌව අධිශීතකරණයෙන් එළියට අරගෙන හිමින් සීරුවේ නටන වතුර ට දාන්නේ.

ඇත්තටම සිමි හිතන්නේ..,

මේ වයසක මනුස්සයත් එක්ක මම ජීවත් වුණා හොඳටම ඇති. ඒත් එහෙම කියලා මේ මනුස්සයා ගෙන් එක් පාරටම වෙන්වෙන්න බැහැ. එහෙම වුණොත් අසරණ මනුස්සයා පපුව පැළිලා මැරෙයි. මම කැමති නෑ එහෙම වුණොත්. ඉතින් මම මගේ ආදර සීතලේ මෙයාව අවුරුදු 3ක් නිදි කෙරෙව්වා. දැන් මේ වයසක මනුස්සයා මතුපිටින් ඇහැරිලාහිටියත් ඇතුළතින් හොඳටම නිදි. දැන් තමයි හොඳම වෙලාව ( හොඳම කාලය ඇවිත්) මෙයාව මරලා දාන්න.

Andhadhun චිත්‍රපටයෙන්

චිත්‍රපටියේ මුල් විනාඩි කීපය තුල දිවයන ගොවියා සහ හාවා ගේ ජවනිකා ව තූළින් සම්පූර්ණකතාවම පවසා අවසන්. එක් ඇසක් පමණක් පෙනෙන හාවා සංකේතවත් කරන්නේ ආකාශ් ගේ චරිතය යි. ඔව්! ආකාශ් අන්ධ නැහැ. එයාට ඒක ඇහැයි ඇත්තටම පේන්නේ. හාවා සිය ජීවිතය බේරා ගැනීමට යුහුසුලු විය දිව යයි. මෙහි හාවාගේ ජීවිතය තුළින් අර්ථවත් වන්නේ ආකාශ් ගේ සංගීත දිවියයි. ගොවියා එල්ල කරන වෙඩිපහරවලින් පෙන්නුම් කරන්නේ ආකාශ් හට මුහුණ දීමට සිදුවන අභියෝග යන් ය. ගොවියා ගේ චරිතය තුළින් නිරූපණය වන්නේ ආකාශ් ව පිළිනොගන්නා සමාජය යි.බොලිවුඩ් සිනමාව තුළ out of the box සංකල්පය පාවිච්චි කරපු චිත්‍රපටිය ක් ලෙසAndhadun චිත්‍රපටිය නම් කරන්න මම කැමැති යි. කතාව අන්ධ පුද්ගලයෙක් වටා දිව ගියත් ප්‍රේක්ෂකයා ට වැටහෙන්නේ නැහැ අධ්‍යක්ෂ ඇතුළු නළු නිළියන් ප්‍රේක්ෂකයා වත් අන්ධ කරලා ඉවරයි කියලා චිත්‍රපටය මුල් පැය බලද්දී ම.

කතාවේ සිමි සහ ආකාශ් තමයි ප්‍රධාන ම චරිත දෙක. ආකාශ් තමන්ගේ පියානෝ වාදන දක්ෂතාවය නිසා අන්ධ වෙලා ඉන්නේ. එතකොට සිමි තමන්ගේ වයසක සැමියා ගේ මුදල් හා දේපළ වලට අන්ධ වෙලා ඉන්නේ.

අන්ධ වීම එහෙමත් නැත්නම් අන්ධ යැයි පෙන්වීම මුදලට, බලයට, ලස්සන ජීවිතයකට, ලස්සන ආදරයකට, අසම්මත ආදරයකට, තමන්ගේ වෘත්තීය ට කොච්චර දුරට බලපායි ද?

– ජනිඳු රාජකරුණාගේ ලියමනකි –

Tags

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි