Moviesආදර කතා (Movies)නාට්‍යමය (Movies)සංගීතමය (Movies)හින්දි (Movies)

Manmarziaan ගෙනා ආදරය : SPOILER ALERT ❌

ආදරය යනු කුමක් දැයි ඔබ හඳුනනවාද..? මම ඔබෙන් අසමි. ඔබට දීමට නිශ්චිත පිළිතුරක් නොමැති බව මම දනිමි. හැමවිටම මම මගෙන් ද ඒ පැනය අසමි. එහෙත් මම ද ඔබ මෙන්ම එම පැනයේදී අසරණ වෙමි. ඒ අසරණ වීම නිර්වචන රහිත සැබෑ ආදරයක හිමිකමක් ඔබ සතු බවට වන සාක්ශියයි. ඒ ආදරයේ හිමිකම් ඔප්පුවයි.

ඉතින් අද මෙන්ම හෙටත්, හැමදාටමත් ඔබ ආදරය කරන්නේ කාට ද..? කුමන හේතුවකට ද..? කුමන සුවිශේෂීකමකට ද..? යන කාරණා වෙනස් වූවත්, ඔබේ ආදරයේ නිර්වචනය නොවෙනස් ය. එය සදාතනිකය.

රූමි යනු දුහුවිලි බහුල පන්ජාබ් බිමේ පා තබා ඇවිද යන රූමතියකි. ඇය අවංකයෙන්ම ලස්සනය. හුරතල් ය. පිරිමියෙකුට දෙවරක් නොව තුන් වරක්ම හැරී බලන්නට තරම් සුන්දරත්වයක් ඇය සතුය. ඇයට මව පියා නැත. හැදෙන්නේ නැන්දාගේ නිවසේය. ඒ නිවසේ සියල්ලන්ගේම ආදරය ඇයට හිමිය. එතරම් ලස්සන කෙල්ලෙකුට ආදරය නොකරන්නේ කවුද..? කෙස් කළඹ ඇයට ආභරණයකි. සිනහව ඇගේ මුවග නැති මොහොතක් අපට මවාගත නොහැක. ඇත්තෙන්ම ඇය සතුටින් සිටින්නීය. ඒ සතුටට හේතුව ආදරය විය යුතුය. මේ ලස්සන කෙල්ලගේ හිත දිනාගත් වාසනාවන්තයා කවුදැයි ඔබ දැන් බලනු ඇත. ඔහු විකී ය.

විකී සහ රුහීගේ ආදරය

විකී සන්ධූ. ඔහු සංගීතයට ලැදි, ජීවිතයේ අරමුණක් නැති, හුලඟ යන අතට ජීවිතයට ඔහේ යන්න දෙන තරුණයෙකි. DJ සංගීතයට ඔබ මම කොතරම් ප්‍රිය කරන්නේද, ඔහු එමෙන් දාස් ගුණයක් එයට ආදරය කරයි. ඔහුගේ අරමුණු රහිත ජීවිතයෙ එක් අරමුණක් ඇත. ඒ මතු යම් කිසි හෝ දිනෙක රූමි ඔහු සතු කර ගැනීමයි. එහෙත් ඒ කවදා, කෙදිනක දැයි ඔහු දන්නේ නැත. ඔහුගෙන් කවුරුවත් ඇසුවේද නැත. ඒ නිසා ඔහු ඒ ගැන හිතුවේද නැත.

ඔවුහු ආදරය කල හැකි උපරිමය කුමක් ද ඒ උපරිමයෙන් ද මදක් ඉස්සරහට ගොස් ආදරය කළහ. දෙතොල් පැටලෙන වාර ගණනට වඩා වැඩිපුර වාර ගණනක් ඔවුන් එකතු වූහ. සදාචාරය, සංස්කෘතිය ඔළුව උඩ තියාගත් සමාජයක ඔවුහු එයින් වෙනස් වූහ. එහෙත් එතැනින් එහාට ජීවිතය කුමක් දැයි කිසි දිනෙක ඔවුන්ට හිතුනේම නැත.

එහෙත් එය හිතන්නට දවසක් උදාවිය. පෙම්වතුන් දෙදෙනෙක්, පෙම්වතියගේ නිවසේ කාමරයක් තුල ආලිංගනයේ යෙදෙනවා පෙම්වතියගේ පවුලේ උදවියට හසු වුණොත් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද..? ඒ කටුක දිනය උදාවිය. පෙම්වතිය දැඩි ඇප කොන්දේසි යටතේ නිවසෙන් නිදහස් විය. “හෙටම අරූට එන්න කියන්න බඳින්න” එය පවුලේ උදවියට අනුව අතිශය සාධාරණ නියෝගයකි. එහෙත් පෙම්වතාට ඒ නියෝගය අදාල නැත.

“මම තමයි ඔයාට ආදරේ. මට වඩා වෙන කවුරුවත් ඔයාට ආදරේ කරන්නෑ” පෙම්වතා ඇයට හැබෑවටම ආදරය කරයි. එහෙත් වගකීම ඉටු කල යුතුම තැනදී ඔහු එය අර අරියි. ආදරයත් වෛරයත් අතර වූ කෙන්දක වෙනස යලිත් සනාථ කරමින්, ඇය ආදරයට වෛර කරන්නට පටන් ගත්තීය. ඇත්තෙන්ම ආදරය අමතක කොට විවාහ වීමට ඇය සූදානම්ය. ඉදින් අවසන ඇය විවාහ වූවාය.

විවාහක තරුණයා රොබී ය. හේ නිහඬ බව රකින්නෙකි. රූමිගේ සතුටම පතන්නෙකි. පිලිවෙලට වැඩ කරන්නෙකි. අනාගතය ගැන අරමුණක් ඇත්තෙකි. ඒ හැම දේම පැත්තක තියූ පසුවත් ඔහු ඇයට ආදරය කරන්නෙකි. ඒ ආදරය ඇයගේ ආදරය හා සමපාත විය යුතුයැයි ඔහු හිතයි. රොබී, විකීට හාත්පසින්ම වෙනස්ය. එහෙත් රූමි රොබීගෙන් “විකී සන්ධු” කෙනෙක් සොයයි. ඔහු නොලැබුණු තැන ඇය රොබීට හොරා විකී සොයා යයි.

විකී සහ රොබීගේ නමක් නැති බැඳීම

මට මේ කතාවේ ලියන්නට හිතෙන්නේ මෙපමණකි. දැනටමත් මා බොහෝ දේ ලියා ඇති බව මම දනිමි. එහෙත් ඔබ Manmarziaan නැරඹූ විට මා බොහෝ දේ ලියා නැති බව ඔබ තේරුම් ගනු ඇත. ඒ හැඟීම් අකුරු වලට පෙරළිය හැක්කේ කාට ද..?

මම කාලයක් ආදරණීය චිත්‍රපට නැරඹුවෙමි. Nicholas Sparks ලියූ, සිනමාවට නැගුණු හෑම කතාවක්ම මම කියවූවෙමි. නැරඹූවෙමි. පසුව මම ආදරය යන කැටගරිය ජීවිතයෙන්ම අත් හලෙමි. මිනී මැරුම් – බයෝ ග්‍රැෆි – ටෲ ඉවෙන්ට්ස් ආදී ලෙස මගේ සිනමාත්මක රසිකත්වය කාලයෙන් කාලයට වෙනස් විය. එහෙත් අහම්බෙන් නැරඹූ Manmarziaan නැවත ආදරණීය චිත්‍රපට බලන්නට මා අවදි කලේය.

අවසන මා ඉගෙනගත් වටිනා පාඩමකි. ඔබේ ආදරය ඔබ සොයන ආදරයම නොවිය හැක. ඔබේ ආදරය ඔබේ හීනයම නොවිය හැක. ඔබේ ආදරය හොඳම ආදරය නොවිය හැක. එහෙත් එය ඔබේ ආදරයයි. එය අයිති ඔබටය. කවදා කෙසේ කොහොම හෝ ක්ශණයක ඔබේම ආදරය ඔබ මුණ ගැසෙනු ඇත. එදිනට ඔබ ඔබගේයැයි සිතා සිටි සියල්ල ඔබ අත් හරිනු ඇත.

Manmarziaan බලන්න.
මම ඔබට ඇරයුම් කරමි.
එය ඔබට ද ආදරය උගන්වනු ඇත.

© මහේල හෙට්ටිආරච්චි

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි