Moviesආදර කතා (Movies)ඇනිමේෂන් (Movies)සංගීතමය (Movies)

තත්පරයකට සෙන්ටිමීටර් පහක්

5 Centimeters Per Second | 7.7 / 10 IMDB

“චෙරි මල් වැටෙන වේගය තත්පරයට සෙන්ටිමීටර් පහක්”

මුල්ම ආදරය කවදාවත් අමතක කරන්න පුළුවන් විදිහේ එකක් නෙවෙයි. හැමදාම යටි හිතේ තැන්පත් වෙලා තියෙන. නොහිතන නොපතන වෙලාවට අපිටත් නොදැනීම අපේ හිත් පාරන්නේ ඔය ආදරේමයි. සමහරු පළමු පෙමින් පස්සේ ආයේ හිත හදාගෙන අලුත් පාරකට වැටෙන අතරේ තවත් අය හදා ගන්න බැරි වුනු දුකින් බරවුණු හැගීම් එක්ක ජීවිත කාලෙම ගත කරනවා.

මලයාලම් සිනමාවේ premam,එහෙමත් නැත්නම් දමිළ සිනමාවේ autograph සලරුව වගේ නැත්නම්. ඊටත් වඩා දමිළ සිනමාවේම 96 අපිට දුන්නා වගේ හැගීමක්. ඒත් මේ ඒ කතා නම් නෙවෙයි. වෙනස්. මුල සිට අග දක්වාම වෙනස්.

ජපන් සිනමාව ගැන තියෙන්නේ මොන වගේ කියවීමක්ද. ජපන් ඇනිමී ගැන තියෙන්නේ මොන විදිහේ ආකල්පයක්ද..? අඩු තක්සේරුවක් කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම නැරඹිය යුතු ජපන් නිර්මාණ ගොන්නට මේ අරුමැසි නිර්මාණය මම යෝජනා කරනවා. මේ එහෙම යෝජනා කරන නිර්මාණ අතරින් ටිකක් පහලින් තියෙන එකක්. එහෙම කියන්නේ නිර්මාණයේ අඩුවක් නිසා නෙවෙයි. අනෙක් නිර්මාණ මොන වගේද කියලා දල අදහසක් ලබාගන්න.

5 Centimeters Per Second චිත්‍රපටයෙන්

මග හැරුණු පාසල් ප්‍රේමයක් ආයෙත් තමන් වෙතට ලංවෙනකම් ඉන්න තරුණයෙක් ගේ ජීවිත කාලේ අවදි තුනක නිරූපනයක්. ඔහුත් නොදැනම ඔහුට ආදරය මග හැරෙන විදිහ. වෙන කිසිම කෙනෙක් ගැන නොහිතන්න තරම් ඔහුගේ ජීවිතයට ලං වෙලා තියෙන ආදරය.

5 Centimeters Per Second චිත්‍රපටයෙන්

බොහෝ විට එකිනෙකා අතර හුවමාරු වෙන දෙබස් වලට වඩා මේ නිර්මාණයේ කතා කරන්නේ හිත්. එක හිතක් කතා කරද්දී අනික් හිත නිහඩයි. අපි තේරුම් ගන්න ඕන ප්‍රමාණය විශාලයි.නිර්මාණය නරඹලා අවසානයේ හිතන්න බොහෝ තැන් ඉතිරි වේවි. දුන්නු පොඩි පොඩි ඉඟි පවා. ඇනිමි එකකින් ඒ තරම් දුරකට අපේ හිත් ගෙනියන එකම මායාවක්. ඒ මායාව දකින්නම ඕන විදිහේ එකක්.

ජපන් සංගීතය,භාෂාව මගේ කනට හුරු නැති උනත් මේ සලරුව වනුවෙන් නිර්මාණය වුනු සංගීත රටා තාමත් මගේ කන් වල රැවු දෙනවා. විශේෂයෙන්ම අවසාන විනාඩි කිහිපය තුල දිවෙන ගීතය මගේ ප්‍රියතම ගීතයක් වෙලා. චිත්‍රපටයේ රූප රාමු ගැනත් අමතක කරන්න බැහැ. ඒ තරම්ම නිර්මාණශීලියි. ඇස් ඉවතට ගන්න නොහිතෙන තරම්.

5 Centimeters Per Second චිත්‍රපටයෙන්

කතාව අපිට හුරු පුරුදු නැති වෙන්න පුළුවන්. සමහර විට කතාව ගැන පැහැදීමක් නැති වෙන්නත් පුළුවන්.එත් වෙනස් අත්දැකීමක් ලබන්න පුළුවන්. ගෙඩිය පිටින් කතාව ඔළුවට පාත් නොකර. භාගයක් කියලා,භාගයක් අපිට ඉතුරු කරලා. ඉතින් කෙනෙක්ට මේක විකාරයක් කියලා උනත් හිතෙන්න පුළුවන්. මේ තරම් ලොකුවට ලියන්න තරම් නැති බව හිතෙන්න පුළුවන්.

ඔබේ රුව කොහේ හෝ පෙනෙනා තෙක් මම ඔබව සොයමි.

ඉතින් බලන්න 5 Centimeters Per Second !

– අනුජ තාරින්ද ලියමනක් –

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි