Moviesආදර කතා (Movies)නාට්‍යමය (Movies)සත්‍ය කතා (Movies)හින්දි (Movies)

යනවනම් නගින්න. රම්බාඩා හරහා කේදර්නාත්….

Kedarnath (2018)

“ජල කඳකි, ජල කඳෙන් බේරී අමාරුවෙන් මෙන් දරා සිටින අතු රිකිලි ගොමුවකි. එහි පැටලුනු රෙදි කඩකි. රෙදි කඩේ එතුනු ජංගම දුරකථනයකි, ස්මාට් වර්ගයේ එකකි. ඊට ඇමතුමකි. තිරයේ “අම්මා” ය. අකුරු තුනකි. ආත්මයකි.”

ඔයිට එහා Spoiler නැත. එන්න යමු මා එක්ක කේදර්නාතයට….

කේදාර්නාත් ? ඒ කොහෙද ?

සුන්දර කේදර්නාතය උත්තර ඉන්දියාවේ ඇති පූජනීයම ස්ථානයක්. ගිරි තරණයකින් වන්දනා කල යුතු මෙය ශිව දෙවියන්ගේ අඩවියයි. ඔබ දන්නා ශ්‍රී පාදය අපට කෙලෙස දැනේ ද? ආං එම හැඟීම කේදාර්නාතය ගැන හින්දු භක්තිකයන්ට දැනෙනවා ඇත. ශ්‍රී පාදය කරුණා කරන මහලු අය දැක ඇති. ඇතැමුන්ව මළුවට ම ඔසවා ගෙන යන කුලී උදව්කරුවන් ද දැක ඇති. මෙහෙත් එහෙම ය. අපේ කතානායකයා ද එවැනිම කුලී උදව්කරුවෙකි.

කේදාර්නාත් සිද්ධස්ථානය

කේදාර්නාතයට යන අතරමගදී හරි මැද හරියේ හමුවන්නේ රම්බාඩා නම් සුන්දර ග්‍රාමයයි. වන්දනාකරුවන් ට ගිමන් හරින්න කියාපු තැනකි.

2018 වර්ෂයේ බොලිවුඩය නම් රසෝඝයකි. වින්දෙමි. විටෙක විඳෙව්වෙමි. Kedarnath (2018) යනු ඊට මනා දායකත්වයක් දැක් වූ ජල පහරකි. විටෙක, ඔහේ සෞම්‍ය ව ගලාගෙන යයි. විටෙක රුදුරු ව ගලා යයි. කොයිම ආකාරයකින් හෝ “ගලාගෙන” යන හෘදයාංගම සිනෙමාවකි.

මේ, කේදාර්නාතයට වයෝවෘධ, රෝගී වන්දනාකරුවන් ගෙන යන තරුණයෙක් වටා සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් ගොඩනැංවූ කතාන්දරයකි. රාම්බාඩා ග්‍රාමය වටා ගෙතුනකි. හිම ගිරෙන් එන හිම පැහැ ම ජල තීරු දෙකකින් වට වූ රම්බාඩාව ගැන කතාවකි. එයනම් මනරම් ම භූමියකි. කැමරාකරුවාට ස්වීප් ටිකට් එකකි. නරියාට කුකුල්ලු භාර දෙන්නේ කෙලෙසද? අන්න එලෙසටම මෙවන් පරිසරයක් දක්ෂ කැමරාකරුවෙකුට භාර දීම සිනමා පටයට මනා ආලෝකයක් දී ඇත. එවන් කැමරාකරුවෙකුට මෙවන් වටපිටාවක චිත්‍රපටයක් රූගත කරන්නට ලැබීම ම කටට කෙල උනනා කර්තව්‍යයකි. මෙහි කැමරාව හැසිරී ඇති ආකාරයෙන් එය සනාථ වේ.

අධ්‍යක්ෂක Abhishek Kapoor ඉහල නිර්මාණයක් දායාද කර ඇත. තම කර්තව්‍ය මනාව නිමවා ඇත. චරිත හැසිරවීම දෙස බැලීමෙන් ම එය තහවුරු වේ.

සුරූපී සාරා අලි ඛාන්….

ආධුනික Sarah Ali Khan ගෙන ඇති ප්‍රයෝජනය දෙස බැලීමෙන් ම එය තහවුරු වේ. එහි පැසසුම ඈට ද උරුම ය. ඇය අනගි රංගනයක යෙදේ. කැමරාව ට කිසිඳු ආධුනික බවක් නම් ඇය පෙන්නන්නේ ම නැත.

සැමට පෙර කතා කල යුත්තේ Sushanth Singh Rajputh ගේ විශිෂ්ඨ රංගනයයි. සැවොම ප්‍රිය කරන මනරම් මදහසක් ඇති මේ තරුණයා තුල මහා රංගධරයෙක් නිදා සිටී. ඔහු ක්‍රමයෙන් අවදිවෙමින් පවතින බව ට මේ සාක්ෂි ය.  ඉදිරියේදී බොලිවුඩයේ දක්ශතම නළුවන් ලැයිස්තුවට ඔහු එකතුවන බව මාගේ අනුමානය යි.

සුශාන්ත් සිං රාජ්පුත් කේදාර්නාත් හිදී

චිත්‍රපටයේ තේමාව ම ආකර්ෂණීය ය. ඊට පරිසරයේ සුන්දරත්වයද මහා රුකුලක් වන්නේ ය. චිත්‍රපටයේ මුල් භාගය මද පවනක් මෙන් සෞම්‍ය වන්නේ එනිසාය. සිත්ගන්නා සුලු සංස්කෘතියක් අස්සේ සිතට ඉහිලුම් නොදෙන ආගම්වාද , ජාතිවාද අස්සේ ද සැම කුණු අතුගාගනිමින් කෙදාර්නාත් සිනමා ගංගාව අස්සක් මුල්ලක් නෑර ගලන්නේ ය. කලා අධ්‍යක්ෂක ට ඊළඟ මල් මිට ය.

උත්තර ඉන්දියාව සහ දක්ෂිණ ඉන්දියාව අතර ඇති පරිසරයේ පරස්පරතාව කෙතරම් විශාලද? දමිල චිත්‍රපට නරඹන නුඹ ට නම් මෙය නරඹද්දි නිසැකවම එසේ සිතෙනු ඇත. එතරම් සුන්දර රූප රාමු ය.

මා හට නම් ඇසට , සිතට හසුවන අඩුපාඩු ඇත්තේම නැති තරම් ය. යම් තැනක දෙකක වූ අභව්‍ය දෘශ්‍ය ප්‍රයෝග ඇරෙන්නට චිත්‍රපටය ඉතා  හොඳ ය.

මේ දිනවල Amith Thrivedi ට නම් මොනා කැවිලා ද දන්නේ නැත. එක පිට එක චිත්‍රපටවල මනා සංගීත සැපයුමක් දෙන්නා ඔහු ය. Andhadun සහ Manmarziyaan ආසන්නතම උදාහරණ ය.

(මේ චිත්‍රපට දෙක මත ක්ලික් කර ඒවා පිළිබඳ වැඩිදුර තොරතුරු කියවිය හැකිය. නමුත් ඊටත් පෙර මෙය කියවා අවසන් කරමු!)

දින කීපයකට පෙර Mehbooba නම් තෙලිඟු චිත්‍රපටයක් නැරඹුවෙමි. එහි ද හිමාලය ආශ්‍රිත ව පෙම්වතුන් දෙදෙනෙකු වටා එක් භාගයක කතාව දිව යයි. ඔවුන්ගේ ආදරය සලකුණු කරන්නට මෙන් හැම වෙලේම පාහේ ලතා මංගේශ්කාර් ගයන Lag Ja Gale නම් ආදරණීය ගීතය වාදනය වන්නේ ය. හිමාලය ආශ්‍රිත උත්තර ඉන්දියාවට නම් ඒ ගීතය නැතුවම බැරි පාටය. මන් ද කේදාර්නාත්හි ද අපට පෙන්වන ආදරයේ පසුබිම් ගීතය එය ය. මේ චිත්‍රපට දෙක නිසාමදෝ එම ආදරණිය ගීතය තුල යම් ශෝකාන්තයක් ඇත්තේ දැයි දැනෙන්නේ ය. ආදර ගීතයෙන් මා හට විරහවක් දැනෙන්නේ ය.

කේදාර්නාත් සිනමාපටයේ ආකර්ශනීය පෝස්ටරය

සෞම්‍යව ගලා යන කතාව එක්වරම රුදුරු වන්නේ ය. එතැන් සිට කරලියට එන්නේ කේදාර්නාතයේදී 2013 සිදුවූ ඛේදවාචකය ය. ඉන් එහාට මම ඔබට භාර කරමි. කුතුහලය යනු ජීවිතයට අවශ්‍ය ම දෙයකි. එනිසා ඉතිරිය ඔබම සොයා බලා ගත යුතු ය.
මා නවතිමි.

කෙසේ හෝ මිතුරනි. සම්පූර්ණයෙන් ම කියවූ ඔබට ස්තූතියි.!

කේදාර්නාතයට බැරි නමුත් ඔබව කරේ තබාගෙන සිනමාවේ රස මුසු තැන්වලට රැගෙන යාමට මම  බැඳී සිටිමි  ….

ස්තූතියි !

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි