NewsTV seriesවෙනත් (Movies)වෙනත් (TV Series)

“ලවාන් කවුද..?” යනු අප ඇසිය යුතු ප්‍රශ්නයක් නොවේ

“ලවාන් කියන්නේ කවුද?” සිනමාලෝලී බොහෝ දෙනෙක් පසුගිය දවස් කිහිපයේ විමසා තිබූ පැනයකට නෙත යොමු කලෙමි. “ලවාන් යනු කවුද ? කොහේ සිටන් ආවේද ? නළුවෙක් වීමට ඔහු සැපිරූ සුදුසුකම කුමක්ද ? ලවාන් ජනප්‍රියම නළුවා වන්නේ කෙසේද ?” වැනි ප්‍රශ්න තව තවත් බොහෝ සිනමා ටෙලි රසිකයන්ගේ මුහුනුපොත් ගිණුම් වල, ට්විටරයේ සඳහන්ව තිබෙනු දුටු මම මෙය ලියන්නට කල්පනා කරමි. මගේ අවංක අදහසනම් ඒ ප්‍රශ්න අසන උදවිය ලවාන් ගැන සෙවීමට පෙර ඔවුන් ජීවත් වන සමාජය අවබෝධ කරගත යුතු බවයි. “ඇයි ඒ ?” ඔබ අසනු ඇත. මම මෙසේ ලියමි.

වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය රසවින්දනය අතින් පිරිහුණක් බව ඔබ මම සංවාදයට බඳුන් කරන්නේ අද ඊයේ සිට නොවේ. වසර ගණනක් තිස්සේ අපි අපේ බිඳුණු රසවින්දන ශිෂ්ටාචාරය ගැන සංවාද ගොඩනගමින් සිටින්නෙමු. ඒ හැම සංවාදයක්ම පිළිතුරු රහිතව කෙලවරවන්නේ අපේම අසරණකම් අපිම උත්කර්ෂයට නැගීමේ ඵලක් නැති කම නිසා විය යුතුය. කෙසේ වෙතත් කවුරුන් කෙසේ කීවත් මෙය පිරිහුණු රසවින්දන සමාජයකි.

අපි හරි හැටි නූගත් චැනල් මාරු කිරීමේ සාස්තරය

සිනමා ශාලාවට ගොස් චිත්‍රපට නැරඹීමට උනන්දුවක් නැති ප්‍රේක්ෂක සමූහයක් අප සතුය. ප්‍රේක්ෂකයන් රසවින්දනයෙන් පොහොසත් කිරීම වෙනුවට, අතිශය ආත්මාර්ථකාමී ආර්ථික උවමනාවන් මුදුන් පමුණුවා ගැනීමම අරමුණු කරගත් කලාකරුවන් අප සතුය. කොහේ හෝ කතාවක කොපියක් ඒ ලෙසටම මෙහේ පැල කරන, ඒ පැල කරද්දී භුමියේ හැසිරීම ගැන පොඩ්ඩක් හෝ නොසිතන නිර්මාණකරුවන් පිරිසක් අප සතුය. මොකක් හෝ පෙන්නනාවට බලන ප්‍රේක්ෂක සමුහයක් අප සතුය. වර්ණයෙන් ටෙලියේ හෝ සිනමාවේ හොඳ නරක තීරණය කරන, තොරොම්බල් පාට බොහොමයක් රූප වල එල්ලා ඇත්නම් “ශා හෙටත් බලන්න ඕන” යැයි සිතන, කියන ප්‍රේක්ෂක සමූහයක් අපට සිටී.

“කූඹියෝ” නම් ටෙලිය විකාශනය වෙද්දී, දිනපතා විකාශය වූ ටෙලියක් වූ “දෙවැනි ඉනිම” ටෙලියේ You Tube Views ගණන බොහෝ අවස්ථාවල “කූඹියෝ” හි Views ගණන මෙන් දෙගුණයටත් වඩා වැඩි වූයේය. එය ඔබට අමතක වන්නට හේතුවක් නැත. එවන් වූ ප්‍රේක්ෂක සමාජයක් තුල ලවාන් ලා ගැන ඔබට ප්‍රශ්න තිබීමට හේතුවක් ඇත්තේම නැත. ලවාන් යනු ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකාගාරයේ ශුද්ධ හරස් කඩකි. එපමණය.

“කූඹියෝ” පෝස්ටරය

හිතවතුණි, පෙනෙන සත්‍යය ඔබ ඉදිරියේ ඇත. ඔබ මා මේ මුහුණු පොතේ, ට්විටරයේ දකින හමුවන සිනමා රසිකයන්, ටෙලි රසිකයන්, කලාකාමීන් සිටින්නේ එපමණක්මය. ඔබ මේ සමාජ මාධ්‍ය ඔස්සේ දකින රසවිඳින්නන්, කිසිසේත්ම ශ්‍රී ලාංකීය මහා ප්‍රේක්ෂක සමාජයේ හරස් කඩක් ලෙස නොසිතන්න.

ඔබ මා මේ ලෙස එකී මෙකී නොකී සමාජ මාධ්‍ය ඔස්සේ අප නරඹන දෙස් විදෙස් චිත්‍රපට, ටෙලි නිර්මාණ ආදිය ගැන සංවාද විවාද මතවාද පල කරන අතරේ, ශ්‍රී ලාංකීය මහා ප්‍රේක්ෂක සමාජය සිය රාත්‍රී ආහාර වේල පහසුවෙන් බඩට යවා ගැනීමට උදවු වන ටෙලි නාට්‍යයක් සොයමින් චැනලයන් මාරු කරමින් සිටී.

මහේල හෙට්ටිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි