ආදර කතා (Movies)දෙමළ (Movies)නාට්‍යමය (Movies)සංගීතමය (Movies)

විශ්වය තුළ සදාතනික වූ තාලය සොයා චාරිකාවක්….

Sarvam Thala Mayam Movie Review (Spoiler Alert)

අප සියලු දෙනාම මෙලොව එළිය දකින්නේ කුඩා දරුවෙකු ලෙස හඬමින්. අප පරිසරයට එකතු කරනු ලබන පළමු නාදය මෙන්ම තාලය වන්නේ ද ඒ හැඬුමයි.  කුඩා අවධියේ දී අප නැළවිලි ගීතයේ තනුව ට නැළවෙති. තොටිල්ලට ඉහළින් සවි කර ඇති සෙල්ලම් බඩු තාලයකට කරකැවීම දෙස බලා හිනැහෙයි. තොටිල්ල තාලෙට පැද්දෙන විට නිදි වැළඳ ගනියි. මවගේ හෘද ස්පන්දන තාලයට හුරුව එය නොමැති ව හැඬීම පාලනය කරගත නොහැකි තත්වයකට පත් වන්නෙමු.

පාසල් කාලය තුළ දී ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය කටපාඩමින් මතකයේ රඳවාගනු පිණිස ලස්සන ගීතයක් සාදා ගත්තෙමු. තාලයට පැද්දෙන සරල අවලම්භයක චලිතය ඇසුරින් ගණන් හැදුවෙමු.
පංති කාමරයේදී නිදහස් කාලයක් ලද විගස ඩෙස්, පුටු වලට තාලයකට තට්ටු කරමින් ගී ගැයුවෙමු. බටහිර හා පෙරදිග සංගීතය ඉගෙන ගනිමින් විවිධ නාද රටා, වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමට ඉගෙන ගතිමු. පාසල් විනෝද චාරිකා වලදී යහළු යෙහෙළියන් සමඟ තාලයට අත්පුඩි ගසමින් ගීත ගායනා කළෙමු.
Sarvam Thala Mayam චිත්‍රපටයේ දර්ශනයක්

කෙමෙන් කෙමෙන් යොවුන් වියට පා තබන අපි වෙන කවරදාටත් වඩා පරිසරය හා ගැටීමට උත්සාහ කරන්නෙමු. බස් රථයේ ක්‍රියාත්මක වන රේඩියෝ යන්ත්‍රයේ ප්‍රචාරය වන ලස්සන ගීතයක ට සවන් යොමා සිටින්නෙමු. ජනේලය අසල ආසනය මත වාඩි වී ගතෙහි දැවටෙන මදනළ හා මිතුරු වන්නෙමු. රැකියා ස්ථානයේදී මහන්සියක් දැනුණු විගස ගීතයක් සෙමින් මුමුණන්නෙමු. ලස්සන ගීතයක් කොහෙන් හෝ කණ වැකුණු විගස එය කෙසේ හෝ සොයා ගන්නෙමු. එයට නැවත නැවත සවන් දී සවන් පිනවන්නෙමු. අහම්බයෙන් කණ වැකෙන සංගීතය කට රිසි පරිදි ස්වයං නර්තනයක යෙදෙන්නෙමු. කාටත් හොරෙන් නාන කාමරය තුළ ගී ගයමින් නටන්නෙමු.
Sarvam Thala Mayam චිත්‍රපටයේ දර්ශනයක්

විවේකයක් ලද විගසම චාරිකාවන් සංවිධානය කරගන්නෙමු. පරිසරය හා වැඩි කාලයක් ගත කරන්නෙමු. සුළඟ සමඟ තාලයට ගස්වැල් පැද්දෙන ආකාරය , ඈත අහසේ වළාකුළු පාව යන ආකාරය මුළු හදවතින්ම විද ගන්නෙමු. මුහුද රැළි ඉහළ පහළ යන ආකාරය දැක ජීවිතය වැනි යැයි කියන්නෙමු. ගංගා වන්හි නිශ්චල ජලතලය ට පෙම් බඳින්නෙමු. බෝමළුවේ වැලි ඇමැද ඇති රටාව දැක සිත පහදවා ගන්නෙමු. මේ අයුරින් අපේ ජීවිතය තුළ ට තාලය, රිද්මය කිදා බැස ඇත. ලබ්- ඩබ් තාලයට ගැහෙනා අප හදගැස්ම අවසන් හුස්ම පොද තෙක් නාද වනු ඇත.

ඔබටත් ” Sarvam Thala Mayam “ චිත්‍රපටය නැරඹීමට ලැබුණහොත් අඩු කුලයේ තරුණයෙකු Mridangam නැමැති වාද්‍ය භාණ්ඩය
ඉගෙනීම සඳහා කරන්නා වූ කැපකිරීම දකින්න ට ලැබේවි. ඒ සඳහා ඔහු පරිසරයේ සුන්දරත්වය විඳගනිමින් පරිසරය තුළ සැඟව ඇති තාලය හා රිද්මය සොයා යයි. A.R. Rahman ගේ නාද රටා වලින් චිත්‍රපටයේ කතාවට නවමු ආකාරයේ රසයක් එක් කරනු ලබයි. චිත්‍රපටයේ තුළ ඇති ගීතය ක් වන ” Sarvam Thala Mayam “ ගීතය එක් වරක් ඇසූ පමණින් නැවත වරක් ඇසීමට ඔබගේ සිත ඔබට බල කරනු නොඅනුමානය. විඩාපත් වූ මනසට එය එතරම් ම සුවදායක ය.
Sarvam Thala Mayam චිත්‍රපටයේ පෝස්ටරයක්

අනුවාදය – ජනිඳු රාජකරුණා විසිනි.

Sarvam Thala Mayam චිත්‍රපටය ඇසුරිනි.
ඡායාරූප මූලාශ්‍රය අන්තර්ජාල යෙනි.
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි