NewsTV seriesඅභිරහස් (TV Series)නාට්‍යමය (TV Series)

වීරයා ගෙදර ඇවිත්.. ඔබත් බලන්න..!

පශ්චාත් යුධ සමයක ඉන්න ශ්‍රී ලාංකිකයාට යුද්ධය කියන්නෙ තවමත් මතකයේ රැඳුණු අත් දැකීමක්. යුද්ධයේ ජය පරාජය මිහිරියාව දුක සතුට අස්සේ උතුරු කොනේත් දකුණු කොනේත් ශ්‍රී ලාංකිකයන් තවමත් මහා අසීරු ජීවන අරගලයක යෙදෙනවා. මේ ජීවන අරගලය, යුද්ධයට ගිය හමුදා සාමාජිකයෙක් වෙලා ගන්නෙ කොහොමද..? යුද්ධයෙන් පස්සෙ එකවරම සමාජ ගත වෙන ඔහුට මුහුණ දෙන්න වෙන අත්දැකීම් මොනවද..? ඔහු ඒවට මුහුණ දෙන්නෙ කොහොමද..? මේ හැමදේම දිහා මධ්‍යස්ථ ඇසකින් බැලූ විවරණයක් විදිහට ජාතික රූපවාහිනිය තුලින් සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම දිගහැරෙන “වීරයා ගෙදර ඇවිත්” ටෙලි නාට්‍යය හඳුන්වන්න පුලුවන්. මේක අධ්‍යක්ශනය කරන්නෙ ප්‍රවීණ අධ්‍යක්ශක ආනන්ද අබේනායක මහත්තය විසිනුයි.

යුද්ධෙ කාලෙ අපි හමුදා සාමාජිකයන් ගැන මහා සමාජය තුල ෆැන්ටසියක් නිර්මාණය කරනවා. ඒ ෆැන්ටසිය නිර්මාණය කිරීම ඕනෑම රටක සිද්ධ වෙන දෙයක්. ඒ අනුව යමින් අපේ රටේ හමුදා සාමාජිකයාව රණවිරුවා බවට නම් වෙනවා. රූපවාහිනියේ ගුවන් විදුලියේ හමුදාවෙ උදාරත්වය ගැන හැමවෙලේම ගීත ආදිය ප්‍රචාරය වෙන්න ගන්නවා. ගැබිනි මාතාවන් පවා රණවිරුවන්ට අසුන් පිරිනමන අන්දම දැක්වෙන ප්‍රචාරක පට නිරන්තරයෙන්ම ප්‍රචාරය වෙනවා. අපි හැමෝම ටික ටික රණවිරු ෆැන්ටසියේ හිර වෙනවා. ගමේ ඉන්න තරුණ කොල්ලො හමුදාවට බැඳෙනවා. සමහරක් ආබාධිත වෙනවා. සමහරක් රණවිරුවෝ මියයනවා. ඔවුන්ගේ මරණ සීල් කරපු පෙට්ටි වල ගමට එනවා. ගමේ සුදු කොඩියක් හැමදාම කොහේ හෝ තැනක ඉහලට නැගෙනවා. අවසන් කටයුතු වලට කලින් ආචාර වෙඩි මුර තියනවා. ඉතින් සමහරු මේ ෆැන්ටසිගත රණවිරුවට ආදරය කරද්දී, සමහරු මේ ෆැන්ටසිය ඇතුලෙම ඉඳගෙන ෆැන්ටසිගත තරුණ රණවිරුවට වෛර කරනවා.

“ජයනි සේනානායක” විශිෂ්ට රංගනයක

 

හරි.. යුද්ධ කාලෙ ඔය ෆැන්ටසිය උත්කර්ශයට නැංවෙනවා. ඒත් යුද්ධය එක්තරා දවසක ඉවර වෙනවා. එදයින් පස්සෙ අන්න අර ගොඩනගපු ෆැන්ටසිගත රණවිරුවට මොකද වෙන්නෙ..? සරලවම කතාවෙ මූලික හරය ඔන්න ඕකයි.

කතාවේ දැනට කොටස් 19 ක් විකාශය වෙලා තියෙනවා. මේකෙ ඉන්න රණැවිරු තරුණයගෙ ඇස් පේන්නෙ නෑ. නිතරම කලු පාට අවු කණ්ණාඩි පැලඳ ගෙනයි ඉන්නෙ ඔහු. ඔහු ගෙදර එද්දි ඔහුගේය කියල තිබුණූ හැමදේම ඔහුට අහිමි වෙලා. ඔහුගෙ ගෙදර අක්කගෙ මිනිහා උකසට තියලා රට ගිහිල්ල. ඔහුගේ අක්කා ගමේ හන්දියේ ත්‍රී රෝද රථ පදවන යෞවනයෙක් සමග අනියම් සම්බන්ධයක බැඳිලා. ඔහුගේ පෙම්වතිය විවාහයක් කරගෙන. ඔහුගේ මිතුරන් ඔහුට වංචා කරලා. ගමේ ඉන්න මිනිස්සු රණවිරු ෆැන්ටසිය අතහැරලා, ඔහු දිහා සැකයේ වෛරයෙන් බලන්න පටන් අරගෙන. සරලවම කිවුවොත් “ඔහුගේ” ය කියල තිබ්බ හැමදේම ඔහුට අහිමි වෙලා. ඔහු නිකමෙක් වෙලා.

යකෝ .. අපි ජීවිතය දුන්නේ මේ රටට
අපි ජීවිතය දුන්නේ තොපිට
තොපි අඩුම ගානේ ඒකට සැළකුවාද ?
මැරෙන්න කලින් තොපි අපි ගමට පිළිගත්තේ මල් මලා දාලා .
වීරයෝ කරලා…!
මැරුණට පස්සෙ මට කමක් නෑ බං..
මට උඹත් එක්ක නෙමෙයි මොකත් එක්ක හිටියත් කමක් නෑ..
යකෝ ඒකි මට ලවු කරපු කෙල්ල..
තෝ අඩු ගානෙ ඒකට සැලකුවද..?

ඔහු එක වෙලාවක එහෙමත් අහනවා. ඒ අහන්නෙ මිත්‍රයෙක්ගෙන්. ඒ කතාවෙන් ඔහුගේ තත්වය ගැන සාධාරණ තීරණයකට එන්න ඔබට පුලුවන් ඇති.

ඒ වුනත් ඔහු නිකමෙක් නොවන බවත් අධ්‍යක්ශකවරයා අපට පෙන්නනවා. ඔහු හම්බවෙන්න කවුද ප්‍රතාවපවත් මිනිස්සු ටිකක් ප්‍රාඩෝ එකකින් හැමදාම රෑට ඔහුගේ ගෙදර ලඟට එනවා. ඔවුන් අහන්නෙ එකම දෙයයි.

“තමුසෙට වුණේ මොකක්ද..?”

ඒ අස්සෙ රහස් රාජකාරි බොහෝ ඇති බවත්, ඒ වෙනුවෙන් ඔවුන් සමග එකතු වෙන ලෙසත් ඔවුන් ඔහුට ආරාධනා කරනවා. “උඹ කවුද කියලා ගමේ උං දන්නෑනෙ” වගේ කතන්දර වලින් මේ හමුදා සෙබලා එසේ මෙසේ එකෙක් නොවන බවත් අපට ටිකක් විතර හිතෙනවා. මූ ගේම් කාරයෙක් වගේ අදහසකුත් අපේ හිතට එනවා. කොහොම වුණත් මේ කුතුහලය උපරිමව තියන්න අධ්‍යක්ශකවරයා සමත් වෙලා තියෙනවා.

රොශාන් රවීන්ද්‍රට තවත් සම්මානයක්ද..?

 

ඉතින් මේ හැලහැප්පීම් අස්සේ වීරයා ගෙදර ඇවිත් ඉදිරියට ඇදෙනවා. රොශාන් රවීන්ද්‍රගේ සහ ජයනි සේනානායකගේ විශිෂ්ට රංගනයක් ඔබට මේ ටෙලියෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම කැමරාව නියමෙට යූස් වෙනවා කියලා පේන්න තියෙනවා. ආනන්ද අබේනායක මහත්තයා ගැන කියන්න දෙයක් ඔහු අපට ඉතුරු කරලම නෑ. ඒ තරමට විශිෂ්ටයි.

ඉතින් ඔබත් බලන්න.. “වීරයා ගෙදර ඇවිත්”..!

ආණ්ඩු මාරු වෙනවා….එතකොට අපිට ඔඩර්ස් දුන්න එවුනුත් මාරු වෙනවා…
ඊට පස්සෙ ආයෙ ආණ්ඩු මාරු වෙනවා.. ඔඩර් දුන්න උන් ආයෙ මාරු වෙනවා….
අන්තිම⁣ට ගුලිය කැරකෙන්නෙ අපිට.
කුලේ.. අපි නිකන් කරපිංච වගේ
උන්ගෙ හොදද්ද තැම්බෙනකන් හොදයි….
ඉස්සෙල්ලාම කරපිංචා සූප්පු කරලා පිගානේ අයිනෙන් තියෙනවා.

මහේල හෙට්ටිආරච්චි

Tags

One Comment

  1. ගොඩක් වීරයන් ට ගෙදර එන්න ලැබෙන්නේ කලාතුරකින්.
    මේ වීරයාගේ කතාව ඒ අතින් විශිෂ්ඨ යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි