18+ (Movies)Moviesආදර කතා (Movies)නාට්‍යමය (Movies)වෙනත් (Movies)

“දැකල පුරුදු කෙනෙක්” කියවමු..!

~ මම වැඩිපුරම මම ගැන දුක්වුනේ මේ චිත්‍රපටය බලලයි ~

පහතින් දැක්වෙන්නේ “දැකල පුරුදු කෙනෙක්” සිනමා පටය පිළිබඳව මහේල හෙට්ටිආරච්චි වන මා විසින් මහේල හෙට්ටිආරච්චි වන මා සමග කරන ලද සංවාදයකි.

| දැකල පුරුදු කෙනෙක් ඔබට දැකල පුරුදු ද..?

හොඳ ප්‍රශ්නයක්. මම ඕක අහනකන්මයි හිටියෙ. චිත්‍රපටයේ නම දැකල පුරුදු කෙනෙක්. ඒත් මේ නමට සම්බන්ධ අමුද්‍රව්‍යයක් චිත්‍රපටය ඇතුලෙන් අපට හොයාගන්න ලැබෙන්නෙ නෑ. නම එන්නෙ කොහෙන්ද කියල මට හිතන්න මහා දෙයක් තිබ්බෙත් නෑ. ඔවු මේ චිත්‍රපටයේ ඉන්නවා මට දැකල පුරුදු කෙනෙක්. ඌ හැමදාම වගේ කණ්ණාඩිය ඉස්සරහදි මම දකිනවා. ඒ මම. ඔව් ඒ දැකල පුරුදු එකා මම. මේ චිත්‍රපටය ඇතුලෙ මට මාව කියවන්න චාන්ස් එකක් දෙනවා.

| චිත්‍රපටය ඔබට දැනුනෙ කොහොමද..?

ඔබට ඕනනම් ෆිල්ම් එකක් බලල ගෙදර ගිහින් මොකුත් බැලුවෙ නෑ වගේ ශෆාන් එකේ ඉන්නත් පුලුවන්, එහෙම නැත්නම් චිත්‍රපටයේ දර්ශන වලට ආයෙ ආයෙ හිතින් ගිහිල්ල ඒ ගැන පශ්චාත් විවරණයක යෙදෙන්නත් පුලුවන්. ලංකාවේ ගොඩක් චිත්‍රපට වැටෙන්නෙ එයින් පළවෙනි කොටසට. ෆිල්ම් හෝල් එකෙන් එහාට වින්දනයක් ලබන්න ලංකාවේ චිත්‍රපට වලින් ගොඩක් අමාරුයි. නමුත් “දැකල පුරුදු කෙනෙක්” ඒ හිඩැස සම්පූර්ණ කරනවා. ඉතින් මම තවමත් කල්පනා කරනවා මේ චිත්‍රපටය ගැන. “මොකක්ද ඒ වුනේ..?” කියල හරියට බැලුව වුනත්, මොකක්ද ඒ උනේ කියල ඇත්ත හිතන්න මට හයියක් නෑ වගේ දැනෙනවා. ඇත්තටම ඒකට හේතුව මේ චිත්‍රපටයේ පෙන්වන කතාව, මගේ ජීවිතය ඇතුලෙත් ෆැන්ටසියක් නොවී යතාර්ථයක් වී පැල වී තිබීම.

| ඔබ සචිත්‍ර වුනානම් ඔබ මොකද කරන්නෙ..?

මම හිතන්නෙ ඒක නොඇසිය යුතු ප්‍රශ්නයක්. නමුත් ඔබ ඇසුව නිසා මම උත්තර දෙන්නම්. මමත් සචිත්‍ර වුනානම් ඔය සචිත්‍ර කියල ඉන්න හාදය ෆිල්ම් එකේදි කරන ගූඪ වැඩේම මාත් කරාවි. හේතුව මම අවිවාහක වුනත් සම්බන්ධතා කියන විශයේදී මටත් ඔය වගේ අත්දැකීම් තියෙනවා. ඒ වගේ වෙලාවලදි මම කලෙත් ඔයිට සමාන වූ දෙයක්. ඉතින් මට අරූ එක්ක සචිත්‍ර එක්ක තරහ ගන්නත් බෑ. නමුත් චිත්‍රපටය පුරාවටම මම මහා වෛරයක් සචිත්‍ර කෙරෙහි පැල කලා. ඒ වෛරය මට පසුව කියා දුන්නා මම ඒ වෛර කලේ සචිත්‍රට නොව මට ම බව. සරලම පිලිතුර ! මම සචිත්‍ර වුනානම් ඔය දේම කරාවි, ඒත් ඒක වැරදි දෙයක්. ඔව් මම වැරදි කාරයෙක්.

| ඔබ ඔබව මේ චිත්‍රපටයෙදි අඳුරගත් බව කිවුවා, ඒ කොහොමද..?

ඊට එක් උදාහරණයක් මම උඩ ප්‍රශ්නෙදි දුන්නා. මේ කියන්නෙ තවත් උදාහරණ ටිකක්. අපි හෙන වලත්තයි. මේ මවාගත්තු ලෝකෙ ඇතුලේ අපට ඒ වලත්ත කම වහගන්න වෙනවා. හරි ඔබ දැන් කියන්න පුලුවන් ඔබ වලත්ත නෑ කියලා. මම වලත්තයි කියමුකෝ. වලත්ත කමත් එක්ක අපි යම් දෙයක් දිහා බලන විදිහ වෙනස් වෙනවා.

දිනිති ත්‍රී වීල් රියදුරාව මේසයක් අදින්න එක්කන් යද්දි මට හිතෙන්න ගන්නවා මොකක් හරි කුප්ප වැඩක් වෙන්න යන්නෙ කියලා. පස්සේ තව තවත් දිනිති මේ රියදුරාට ලං වෙනවා. ගබඩා කාමරේ ඇතුලට යද්දි දිනිති අර තරුණයාගේ ඇඟේ ඇතිල්ලෙන විදිහට මම හිතනවා “හරි හරි වැඩේ හරි” කියලා. තව සුලු මොහොතකින් කාමරේඩ් දොර වහගෙන අර ගෙනාපු මේසෙ උඩම මුං දෙන්න බුදියාවි කියල මගේ හිත මට කියනව. ඒත්.. ඒත්.. අන්තිමට එහෙම මොකුත් වෙන්නෙ නෑ. අර තරුණයා බීම එකක් බොන්න දිනිති ගෙනාපු යෝජනාවත් ප්‍රතික්ශේප කරල යන්න යනවා.

මස්සිනා ගෙදර ආපු වෙලාවේ ශර්ට් එකේ බොත්තම් ගලවලා දිනිති ඔහුගේ පපුව අතගානවා. ඔහුගේ ශර්ට් එක ගලවලා ඇගේ අතට ගන්නවා. “දැන් මොකක් හරි වෙයි.. දැන් මොකක් හරි වෙයි..” මගේ වලත්ත හිත කෑ ගහනවා. ඒත් මොකුත් වෙන්නෙ නෑ.

මස්සිනා වැස්ස වෙලාවක ගෙදර එනවා. ශර්ට් එක හොඳටම තෙත් වෙලා. ඔලුව ඇඟ පුරා වතුර. දිනිති ඔහුගේ ශර්ට් එකත් ගලවගන්නවා. එවෙලෙත් හිත කෑ ගහනවා. ඒත් මොකුත්ම වෙන්නෙ නෑ. චිත්‍රපටය පුරාවටම එක වතාවක් වුනත් දිනිති ලිංගික කාර්යයේ යෙදෙන්නේ ඇයගේ නීත්‍යානුකූල සැමියා සමග පමණයි.

ලිංගික කාර්යය ගැන අපි මවාගත්තු ෆැන්ටසි ටිකක් තියෙනවා. මේක මෙහෙම වුනාම ඊලඟට එන්නෙ “සෙක්ස් කිරිල්ල” කියලා අපි හිතනවා. ඒ සිතිවිල්ලම උපයෝගී කරගෙන මේකෙ තිර රචක භූපති නලින් අපට තඩි පොලු පාරවල් ටිකක් දෙනවා. ප්‍රේක්ශ්කයෙක් විදිහට අපිව අපේ ෆැන්ටසිය ඇතුලේ උපරිමේටම උස්සලා අපිව “දඩාස්” ගාල පොලොවට අත අරිනවා. මම වැඩිපුරම මම ගැන දුක් වුනේ මේ චිත්‍රපටය බලලයි.

| නලු නිලියන්ගේ රංග කාර්යය කොහොමද..?

බිමල්ගෙ රංගනය හොඳයි. අපි සාමාන්‍යයෙන් බිමල්ගෙ රංගනයක දකින සාමාන්‍ය බව මේකෙදිත් මම දැක්කා. නමුත් සමාධි ලක්සිරි ගැන විශේෂයෙන් කියන්නම ඕන. ඇගේ රංගනය අති විශිෂ්ටයි. රංගනයේදි, තාත්වික බවේ යම් උපරිමයක් වේද ඒ උපරිමය මම ඇගෙන් අත්වින්දා. ඇය කතා කරන්නෙ අනියම් පෙම්වතා එක්ක කියල අපි දැනගන්නෙ ඇය කියන වචන වලින් නෙමෙයි ඇගේ හැඟීම් ප්‍රකාශනයෙන්. ඇගේ පීඩාව අපි තේරුම් ගන්නෙ ඇගේ හැඟීම් ප්‍රකාශනයෙන්. ඇගේ ආසාවල් අපට තේරෙන්නෙ ඇගේ හැඟීම් ප්‍රකාශනයෙන්. ඇය සැමියට දක්වන බැඳියාව අපට තේරෙන්නෙ ඇගේ හැඟීම් ප්‍රකාශනයෙන්. ඇගේ රංගනයට මම ලකුණු 8/10 ක් දෙනවා. මේ වගේ වැඩ පෙන්නන්න පුලුවන් චිත්‍රපටි වල වැඩිපුර රඟ නොපාන එකට තමයි ලකුණු දෙකක් කැපෙන්නෙ.

| සමස්තයක් විදිහට මේ චිත්‍රපටය ගැන ඔබ අවසානයට කියන්නෙ මොනවද..?

මේක ලෝ බජට්. ඒක හරි. ඇත්තටම මේ ෆිල්ම් එකේ කතාවට ලොකු බජට් එකක් ඕන වෙන්නෙ නෑ. හරි සරල එදිනෙදා කතාවක්. බජට් එකේ වැඩිහරියක් යන්න ඇත්තෙ අර වෙඩින් එකේ සීන් එකට වෙන්න ඕන. වෙඩින් වලට යන ගණන් නම් කියන්න දෙයක් නෑනේ. නමුත් මේ වෑයම අති සාර්ථකයි. කාලෙකින් දැකපු හොඳ පිටපතක්. අපව උස්සල පොලොවෙ ගහන තරමට ඒක බලවත්. ඉතින් සමස්ථයක් විදිහට සාර්ථකයි කියන තැන මම ඉන්නව.

| චිත්‍රපටය බලන්න ප්‍රේක්ශකයන්ට ආරාධනා කරමුද..?

ඔව්. චිත්‍රපටය බලන්න. “ආදරවන්තයන් නැරඹියම යුතු චිත්‍රපටයක්” කියල තියෙන්නෙ හෙන ෆැන්ටසි ලෝක වල මවපු වීරය, කෙල්ල, දුශ්ටය ඉන්න චිත්‍රපටිනේ. නමුත් මේක ඇත්තම කතාව. ඇත්තම තත්වය. මහ පොලොවේ යතාර්ථය. ප්‍රශ්න කොහොමද අප විසින් වවාගෙන කන්නෙ, අන්තිමට ප්‍රශ්න විසින් අපව කොහොමද වවාගෙන කන්නෙ කියල අපටම හිතන්න සලස්වන චිත්‍රපටයක්. ආදරවන්තයෙක් නම් ආදරවන්තියක් නම් අර වගේ සුකුරුත්තම් චිත්‍රපට දහයක් බලනකොට මේ වගේ එකක් වත් බලන්න.

ආහ්.. ඒ වගේම හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් තියෙන හෝල් එකක බැලුවොත් මේ චිත්‍රපටය ඔබට වඩාත් හොඳින් දැනේවි කියල හිතනවා. ඒකත් පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න.

තව දෙයක් තනියෙන් බලන්න යන්න ෆිල්ම් එක. නැත්නම් ඔබට පුරුශාධිපත්‍ය කෝණෙ කතා. ස්ත්‍රී වාදී කෝණෙ කතා අහන්න ලැබේවි. එහෙම නැතුව නිදහස් ඔලුවකින් ෆිල්ම් එක බලන්න.

| අන්තිමටම.., ඔබට මේ චිත්‍රපටයේදී ඇහුනු හිතට දැනුණු දෙබස් කණ්ඩය මොකක්ද..?

“බොරු කාරයො තනි දොරට බයයි”

චිත්‍රපටය බලලම ඒ ගැන දැනගන්න..!

මහේල හෙට්ටිආරච්චි

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි