Moviesවෙනත් (Movies)

අභිමානවත් දේශයක වීරත්වයේ සලකුණ….

කැප්ටන් ඇමරිකා

මේ දිනවල Captain Marvel චිත්‍රපටයේ උණුසුමත් සමඟ අද Marvel Dc වංශකථාව වෙන් කෙරෙන්නේ Marvel සමාගමේ තවත් කැප්ටන් කෙනෙක්ගේ කතා පුවතටයි. ඒ තමයි Marvel සමාගමේ පැරණිතම සුපිරි වීරයෙක් ලෙස සලකන කැප්ටන් ඇමරිකා නම් බලවත් යුද වීරයා. මුලින්ම කිව යුතු කරුණ තමයි කැප්ටන් ඇමරිකා කියන්නේ Marvel සමාගමේ පළමු සුපිරි වීරයා නොවන බව. DC සමාගම සුපර් මෑන්ට පෙර Mandrake හඳුන්වා දුන්නා වගේ Marvel සමාගම කැප්ටන්ට පෙර Submariner සහ Homo Merman වැනි චරිත චිත්‍ර කතා ඔස්සේ හඳුන්වා දුන්නා. නමුත් Marvel සමාගමට වාසනාව ගෙනා චිත්‍ර කතා චරිතය වුණේ කැප්ටන් ඇමරිකා වීම නිසාම ඔහු පළමුවැන්නා ලෙස බොහො රසිකයන් විශ්වාස කරනවා.

නිර්මාණය හා චිත්‍ර කතා ලෝකයේ භූමිකාව

සාමාන්‍යයෙන් Captain America චිත්‍ර කතා කලාපයක අලෙවිය පිටපත් මිලියනය ඉක්මවන බව වාර්තා වනවා.සුපිරි වීරයන්ගේ  චිත්‍ර කතා අලෙවිය අතින් කැප්ටන් ඇමරිකා හයවැනි ස්ථානයේ පසු වෙනවා.

ඇමරිකාව දෙවන ලෝක යුද්ධයකට අවතීර්ණ වුණ කාලයේදීම මේ යුද්ධයට ඇතුළුවී නාසි හමුදා සමඟ සටන් වදින සුපිරි සෙබලකුගේ කතාව සහිත Captain America නම් චිත්‍ර කතා සඟරාවක් Marvel සමාගම 1940 දෙසැම්බරයේදී එළි දැක්වූවා. ඒ තමයි කැප්ටන් ඇමරිකා චරිතය ජනතාව අතරට ගිය මුල්ම අවස්ථාව. මේ චරිතය නිර්මාණය කිරීම සිදු කරනු ලැබුවේ Joe Simon සහ Jack Kirby නම් නිර්මාණකරුවන් දෙපළ බවත් කිව යුතුමයි. Joe Simon මුලින්    තමන්ගේ නිර්මාණය සඳහා Super American යන නම යෙදුවත් එය Super Man නමට සමානකම් දැක්වූ බව පෙනී යාම නිසා Captain America ලෙස නම යොදා චිත්‍ර කතාව පළ කිරීමට පසුව ඔහු තීරණය කලා. ඔහු සහ Jack Kirby එක්ව 1940 සිට Marvel සමාගම වෙනුවෙන් Captain America වික්‍රම ඇතුළත් චිත්‍ර කතා ගොඩ නැගුවා. එක් වරක්  කැප්ටන් ඇමරිකා විසින් හිට්ලර්ට පහර දෙන අයුරු දැක්වෙන සිතුවමක් සහිතව “ Punching Adolf Hitler in the face” ශීර්ෂපාඨය සමඟ පළ කල චිත්‍ර කතා සඟරාව එකල පැවති නාසි විරෝධී රැල්ලත් හේතු කොට ගෙන ඉහළ අලෙවියක් වාර්තා කලා.

චිත්‍රපට හා කාටුන් මාධ්‍යයේ කැප්ටන් ඇමරිකා විකාශනය වු අයුරු
කැප්ටන් ඇමරිකාගේ බිහි වීම

 

2011 තිරගත වු Captain America First avenger චිත්‍රපටය තුළින් කැප්ටන් ගේ බිහිවීම සහ මුල් අවධිය අපූරු ලෙස නිරූපණය කෙරුණා. ඔබ Marvel රසිකයෙක්  නම් මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි.

පළමු කැප්ටන් ඇමරිකා චිත්‍ර කතා කලාපය
කතාව සැකෙවින්

අඩි පහයි අඟල් හතරක් පමණ උසැති හීන්දෑරි ශරීරයක් සහිත දුර්වලයෙක් ලෙස වෛද්‍ය වාර්තා වලින් නම් කෙරුණ ස්ටීව් රොජර්ස් නම් තරුණයා ඇමරිකාව වෙනුවෙන් දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වීමේ දැඩි වුවමනාවකින් පසු වෙනවා. ශක්තිමත් ශරීරයක් නොතිබුණත් කිසිවෙකුට නොදෙවෙනි ධෛර්යයත් බුද්ධිමත් බවත් සහිත මේ තරුණයාගේ වටිනාකම් ගැන සමාජය එතරම් තැකීමක් කළේ නැහැ. කඩවසම් කෙළිලොල් තරුණයන් අතර ස්ටීව් කාගේවත් අවධානයට ලක් නොවූ නිහඬ මිනිසෙක් ලෙස ජීවත් වුණා. මේ කාලයේදී ඇමරිකන් හමුදාවේ ඉහළ නිලයක් දරන විද්‍යාඥයකු වන ඒබ්‍රහම් අර්ස්කයින් මේ තරුණයාගේ වටිනාකම් තේරුම් ගනිමින් ඔහුව හමුදාවට බඳවා ගනු ලබනවා. හමුදා පුහුණුව අතරතුර ස්ටීව්ට පෙගි කාටර් නම් හමුදා නිලධාරිනිය හමු වෙනවා. ( Peggy Carter ගේ හමුදා මෙහෙයුම් ඇතුළත් චිත්‍ර කතා මාලාවක් Marvel සමාගම එළි දක්වා තිබෙන අතර මේ අති දක්ෂ හමුදා ඒජන්තවරිය ගේ වික්‍රම ඇතුළත් Ajent Carter රූපවාහිනී ටෙලි මාලාවද ඉතාමත් ජනප්‍රිය වුණා.එහිදී මෙන්ම චිත්‍රපටයේදීත් (Captain america first avenger) Peggy ලෙස රංගනයේ යෙදුණේ Hayley Atwell විසින්)

Peggy carter ගේ Agent Carter රූපවාහිනී ටෙලිමාලාව

 

හමුදා පුහුණුව අවසන් වීමත් සමඟ වෛද්‍ය ඒබ්‍රහම් විසින් ඇමරිකානු හමුදාව උදෙසා රජය සිදු කරන යුදමය පරීක්ෂණයක් සඳහා ස්ටීව්ව තෝරා ගන්නවා. සුපිරි යුද සෙබලෙක් නිර්මාණය කිරීමේ මෙම පරීක්ෂණය මත මුළු මහත් ඇමරිකාවේ බලාපොරොත්තු රැඳී තිබුණා.එවැනි කාර්යභාරයක් සඳහා දුර්වල අයෙක් යැයි සම්මත තමා වැන්නෙකු තෝරා ගන්නේ ඇයි දැයි ස්ටීව් ඒබ්‍රහම් ගෙන් විමසනවා. එහිදී ඒබ්‍රහම් ඔහුට අපූරු පිළිතුරක් දෙනවා.

“ උපතින්ම ශක්තිමත් මිනිහෙක් තමන්ගේ ශක්තියේ වටිනාකම හෝ තමන්ගේ සීමාවන් හඳුනාගන්නෙ නැහැ. ඒත් දුර්වල කෙනා දන්නවා ශක්තිමත් බවේ  වටිනාකම, ඒ වගේම එහි සීමාව. හෙට දිනයේ ඔබ ශක්තිමත් මිනිසෙකු බවට පරිවර්තනය වේවි.එහෙත් ඔබේ වටිනා හදවත ඒ සියල්ලටම වඩා ශක්තිමත් බව මතක තබා ගන්න.”

පරීක්ෂණය නිසා ස්ටීව් කැප්ටන් ඇමරිකා නම් සුපිරි වීරයා ලෙස පරිණාමය වෙනවා. ඉන්පසුව ඇමරිකාව වෙනුවෙන් යුද පෙරමුණේ නාසි හමුදා වලට එරෙහිව සටන් වදිනවා. එහිදී ඔහු භාවිත කරන සුවිශේෂ යුද ඇඳුම සහ වයිබ්‍ර්නියම් පළිහ නිර්මාණය කරන්නේ හොවාර්ඩ් ස්ටාර්ක් විසින්. මේ ස්ටාර්ක් කියන නම ඔබට හුරුපුරුදු බවට සැකයක් නැහැ. ඇත්තෙන්ම හොවාර්ඩ් ස්ටාර්ක් කියන්නේ පසුකාලීනව Iron Man ලෙස හැඳින්වෙන ටෝනි ස්ටාර්ක් නම් බිලියනපතියා ගේ පියා බව සඳහන් කල යුතුයි.

කැප්ටන් ඇමරිකාගේ පළමු දුෂ්ටයා ලෙස හැඳින්වෙන්නේ රෙඩ් ස්කල් නම් ජර්මන් නාසි හමුදා නායකයා. ඔහු යටතේ සේවය කරන අර්නිම් සෝලා නමැති වියරු විද්‍යාඥයා කැප්ටන් ඇමරිකා ගේ දීර්ඝකාලීන සතුරකු ලෙස චිත්‍රපට තුළ සහ චිත්‍ර කතා තුළ දැක්වෙනවා.

“ All winner squad” නම් කණ්ඩායම සමඟ දෙවන ලෝක යුද්ධය සමයේ මෙහෙයුම් වල යෙදෙන කැප්ටන් පසුව නික් ෆුරි සමඟ SHIELD කණ්ඩායමේ සහ AVENGERS කණ්ඩායමේ මෙහෙයුම් වලට එක් වෙනවා.

All winner squad දෙවන ලෝක යුද්ධය සඳහා කැප්ටන් ඇමරිකා සමඟ සටන් වැදුණු කණ්ඩායම හැඳින්වෙන්නේ මේ නමිනි. Peggy Carter මෙම කණ්ඩායම මෙහෙයවන ලදී.
Captain America winter soldier චිත්‍රපටය Black widow ලෙස සුපිරි නිළි Scarlett johansson ද Nick Furry ලෙස Samuel jackson ද රංගනයේ යෙදිණි
කැප්ටන් ඇමරිකා චිත්‍රපට

සුපර් මෑන්ට සාපේක්ෂව  කැප්ටන් ඇමරිකා අළලා විසිවන  සියවසේදී චිත්‍රපට නිර්මාණය වුණේ ඉතාමත් අඩුවෙන්. 1973 දි Marvel සමාගම තුර්කියේදි නිෂ්පාදනය කරන “3 dev adam”  පළමු කැප්ටන් ඇමරිකා චිත්‍රපටය ලෙස කිව හැකි. ඉන්පසුව 1979 වසරේ Captain america පළමු සහ දෙවන කොටස ලෙස චිත්‍රපට දෙකක් නිර්මාණය කෙරුණා. 1990 වසරේදී Marvel සමාගම තවත් Captain America චිත්‍රපටයක් තිරගත කලා.

1990 තිරගත වු කැප්ටන් ඇමරිකා චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීම

මේ චිත්‍රපට වල කැප්ටන් ඇමරිකා චරිතය සඳහා පිළිවෙළින් Attekin Akkaya (3Dev adam) , Red Brown (1979 Captain america), Matt Salinger(1990 Captain America) යන රංගන ශිල්පීන් දායක වුණා. නමුත් වර්තමානයේ කැප්ටන් ඇමරිකා ලෙස රංගනයේ යෙදෙන Chris Evens සාර්ථකම කැප්ටන් ඇමරිකා බව අවිවාදයෙන් යුතුව පිළිගත හැකියි. ඔහුගේ පෙනුම සහ රංගන හැකියාව කැප්ටන් ඇමරිකා චරිතය සාර්ථක ලෙස සිනමාව තුළ ප්‍රතිනිර්මාණය කිරීමට උපයෝගී වුණා. 2011 First avenger  සිට 2019 තිරගත කිරීමට නියමිත Endgame දක්වා දශකයකට ආසන්න කාලයක් Marvel චිත්‍රපට මාලාවේ කැප්ටන් ඇමරිකා ලෙස Chris Evans රංගනයේ යෙදීම සුවිශේෂ කරුණක්.

2011 captain america චිත්‍රපටය ඇමරිකා ඩොලර් මිලියන 370.6 ක ආදායමක් හිමි කර ගන්නවා.ඉන්පසුව  2014 තිරගත වු Captain America Winter Soldier චිත්‍රපටය ඇමරිකන් ඩොලර් මිලියන 714.3 ක ආදායමක් හිමි කර ගන්නවා. 2016 වසරේ Captain America  Civil War චිත්‍රපටය ඇමරිකන් ඩොලර් මිලියන 1153 ක බොක්ස් ඔෆීස් වාර්තාවක් සටහන් කරන අතර එය වැඩිම ආදායම ලැබූ කැප්ටන් ඇමරිකා චිත්‍රපටය සේම ලොව වැඩිම ආදායම ලැබූ චිත්‍රපට වලින්  19 ස්ථානයේ පසු වෙනවා.

දශකයකට ආසන්න කාලයක් Captain America ලෙස Chris Evens රංගනයේ යෙදිණි.

මීළඟ සතියේ DC Marvel වංශකථාව තුළින් මේ දින වල අති සාර්ථක ලෙස තිරගත වෙන Captain Marvel චිත්‍රපටය ගැනත් එහි රංගනයේ යෙදෙන Brie Larson  ගැනත් තොරතුරු රැසක් සමඟින් මුණගැසෙමු.

ශාලිත බණ්ඩාර (කැමරන් )

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි