නාට්‍යමය (Movies)වාර්තාමය (Movies)සත්‍ය කතා (Movies)

ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ වැදගත් චරිතයක් ගැන කියවමු….

Vice English Movie Review ( Spoiler Alert )

දිනෙන් දින කාලය ගතවන විට අපේ අවධානය ට ලක්වන්නේ අප අවට පරිසරයේ දක්නට ලැබෙන කුඩා කුඩා  සිදුවීම් පමණකි. නමුත් ඒ ඒ කුඩා සිදුවීම් සඳහා මූලික වූ විශාල වූ බලපෑම් අප හට නොපෙනේ. ඒකාකාරී ජීවිතයෙන් හෙම්බත් වූ මනුෂ්‍යයා තව තවත් මුදල් ඉපයීම ට පෙළඹෙයි. සිය විවේක කාලය ඔවුන් වැඩි වැය කරන්නේ රජයේ වෙළඳ ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති, බදු වියදම් යනාදිය විවේචනය කිරීම සඳහා යි. එහෙත් සැබැවින්ම ඒ මාතෘකාවන් හේතු කොට ගෙන ඔවුන් ගේ ජීවිතය විශාල වූ වෙනසකට භාජනය වී ඇති බව ඔවුන් හට වැටහෙන්නේ නැත.
Vice චිත්‍රපටයේ දර්ශනයක්
” දේශපාලනය තරම් රසබර වූ මාතෘකාවක් නොමැත. නමුත් එය තරම් කුණුවී ගඳ ගසන පළතුරක් ද නොමැත්තේය. “

ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ වඩාත් ම රහසිගතව ක්‍රියාත්මක වූ දේශපාලකයෙක් වශයෙන් මෙන්ම උප ජනාධිපති වරයෙකු වූ  Dick Cheney ගේ දේශපාලන ජීවිතය මෙම චිත්‍රපටය සඳහා හේතු කාරණා වී ඇත. තියුණු බුද්ධියකින් මෙන්ම සට කපට ස්වභාවයකින් යුක්ත වූ ඔහුව චිත්‍රපටය හරහා කියවීමට ඔබ සූදානම් විය යුතුය. ඇමරිකා එක්සත් ජනපදය ට  9/11 ත්‍රස්ත ප්‍රහාරය අමිහිරි අත්දැකීම් රාශියක එකතුවකි. එහෙත් Dick Cheney එය දුටුවේ සිය අනාගත අභිවෘද්ධිය සඳහා ගතහැකි වන වඩාත් උපක්‍රමිකම තීරණය ක් ලෙසටයි. එනම් ඉරාක ආක්‍රමණය සඳහා යි.

Dick Cheney හට ධවළ මන්දිරයේ සේවය ලැබුණු අවස්ථාව මහඟු වූ එකකි. ලොව බලගතුම රාජ්‍යය සිය රට තුළ හා රටින් එපිට ගන්නා වූ තීරණයන් පිළිබඳව දැනුවත් වීමටත් ඒ හරහා තම මතය ප්‍රකාශ කිරීමට ත් ඔහුට එතුළින් හැකි විය.
Vice චිත්‍රපටයේ දර්ශනයක්
Dick Cheney තුළ දේශපාලනඥයෙක් වශයෙන් තිබූ දුරදක්නා නුවණ, දේශපාලන ඥානය, තීරණ ගැනීමේ ඒකීයත්වය අතරින් වඩාත් ම කැපී පෙනුනේ ඔහු සතුව තිබූ දැඩි මතභේදාත්මක අදහස් අන්‍යයන් හට වෘත්තීයමය වශයෙන් විස්තර කරමින් ඒ සඳහා අනුමැතිය ලබාගැනීමේ හැකියාව යි. තමන් හට බෙහෙවින් පක්ෂපාතී වූ පුද්ගලයින් කීපදෙනෙකු ගේ ආධාරයෙන් ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ නොමැකෙන අඩි සටහන් තැබූ ඔහු ඇමරිකානු නීති පද්ධතියට බලපෑම් එල්ල කිරීමට සමත් විය.

” දේශපාලනඥයන් අවස්ථාවාදීන් වේ. තමන්ගේ පරමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමෙහිලා ඔවුන් ඕනෑම දෙයක් කිරීමට දෙවරක් නොසිතයි. ”

ඇමරිකානු ජනපති වරයා සතුවූ ඒකීය විධායක නීතිය ( Unitary Executive Theory ) භාවිතා කරමින් ඇමරිකානු රජය හා ඇමරිකානු ජනපති වරයා තමන්ගේ අතකොළුව වක් බවට පත් කරගැනීමට ඔහු සමත් විය. ඒකීය විධායක නීතියට අනුව බලවත් රාජ්‍යයක් ලෙස ඕනෑම දේශපාලන තීන්දු තීරණයක් ගැනීමට ඇමරිකානු ජනපති වරයා හට හැකියාව පවතින අතර එය නීත්‍යානුකූල ද වේ. සරලව පැහැදිලි කළහොත් ඇමරිකානු ජනපති වරයා යනු රටේ නීතිය බවට බොහෝ නීති විශාරදයන් විශ්වාස කළහ.
Vice චිත්‍රපටයේ දර්ශනයක්
චිත්‍රපටය අවසානයේදී රූපවාහිනී නිවේදිකාව අසනු ලැබූ ඉරාක ආක්‍රමණය සම්බන්ධ ප්‍රශ්නය සඳහා Dick Cheney ලබා දෙන්නේ මෙවන් පිළිතුර කි.

” අපි හැමෝම කැමතියි ආදරය ලබන්න. ප්‍රසිද්ධියට පත් වෙන්න. ඒත් ලෝකය එහෙම නැහැ. ඒ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන. මේ ලෝකය මෘගයන් ගෙන් පිරුණු තැනක්. අපි සියලු දෙනාම දැක්කා අපේ ම සහෝදර, සහෝදරිය න් ඒ මෘගයන් ගේ ගොදුරු බවට පත් වෙනවා. මම ජනතාව ගෙන් සමාව අයදින්නේ නැහැ ඔයාලව ආරක්ෂා කරාට, ඔයාලගේ ආදරණීයයන් සුරක්ෂිත ව තැබුවාට. ඔබලාගේ සේවකයෙකු වීමට සිදුවීම මා ලද භාග්‍යයක් ලෙස සළකමි. මා පත් කළේ ඔබයි. මා සිදුකළේ ඔබ සියලු දෙනාම මාගෙන් ඉල්ලා සිටි දෙයයි. එනම් ජනතාව හට සේවය කිරීමයි. “

චිත්‍රපටය පුරාවටම විටින් විට බිලී පිත්තක් ආධාරයෙන්  මාළු අල්ලන Dick Cheney  ( Christian Bale ) ව ඔබට දක්නට ලැබේ වි. ඇත්තටම Cheney බිලී බා ගත්තේ ඇමරිකානු ජනයා වද? එසේත් නැත්නම් ඇමරිකානු ජනාධිපති වරයා වද? එසේත් නැත්නම් ඇමරිකානු නීති පද්ධතිය ද? තීරණය ඔබ සතුය. Christian Bale ගේ රංගන පෞරුෂත්වයෙන් හැඩවුණු Vice චිත්‍රපටය සිනමා රසිකයන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම නිර්මාණය කි.

ප.ලි. – Vice ඉංග්‍රීසි චිත්‍රපටය සඳහා ලියැවුණු ඉහත ලිපිය හරහා Dick Cheney නම් පුද්ගලයා ගේ ජීවිතය හෝ ඔහුගේ දේශපාලනය විවේචනය කිරීම රචකයා ගේ අරමුණ නොවන අතර රචකයා ගේ අරමුණ වූයේ චිත්‍රපටය සම්බන්ධයෙන් කතා බහක යෙදීමයි.

අනුවාදය – ජනිඳු රාජකරුණා විසිනි.
Vice ඉංග්‍රීසි චිත්‍රපටය ඇසුරිනි.
ඡායාරූප මූලාශ්‍රය අන්තර්ජාල යෙනි.
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි