Moviesආදර කතා (Movies)නාට්‍යමය (Movies)හින්දි (Movies)

මහ බැංකුවත් නොවන, ලේ බැංකුවත් නොවන තවත් බැංකු ඇත….

Vicky Donor (2012)

Vicky Donor (2012) | IMDB – 7.5/10 | My rating – 8/10

“ශුක්‍රාණු දායකයා'” කියලා ඇහිච්ච ගමන් ම හිනා යනවා නේද? කවුරුහරි කෙනෙක් ඇවිත් ඔබට කිව්වොත් “මම ශුක්‍රාණු දායකයෙක්” කියලා?  නිසැකවම ඔහු ඔබගේ/මගේ බයිට් එකක්. සුලු කාලයකට හරි. සමහරු හිතනවා ඒක නොහොබිනා වැඩක් කියල ( ඔව් එහෙම හිතන අය තමයි වැඩි ) ඒ මේ චිත්‍රපටයේ මුල් භාගයේදී…

Vicky Donor පෝස්ටරය

එහෙනම් ඔන්න 2012 ආපු ආයුශ්මන්ගෙ Vicky Donor ගැන මගේ සටහන…!

ප්‍රධාන චරිතය වෙන කවුරුත් නොව මේ දිනවල අතිශය ජනප්‍රිය ආයුෂ්මාන් කුරාණා ය. Andhadun නම් ගිය වසරේ හොඳම බොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ය. නමුත් මේ චිත්‍රපටයේ මුල් භාගයේදී නම් විකී ( ආයුෂ්මාන් ) මට උපරිම “බයිට්” එකක් ය. ඒ කෙසේ හෝ ඔහු ශුක්‍රාණු දායකයෙක් වීම නිසා ය. අප පමණක් නොව කතා රචකයා ද/ අධ්‍යක්ෂකවරයා ද විකීගෙන් ගන්නේ “ආතල්” එකක් ය. අපිත් සමග එක්ව ඔහු ද විකී ව සමච්චලයට භාජනය කරන්නේ ය. මෙහි එන අනෙකුත් චරිත ද එහෙම ය.
එතරම්ම අධ්‍යක්ෂකවරයා චිත්‍රපටයේ මුල් භාගයේදී බහුතර සමාජ දෘශ්ටිකෝණය භාවිතා කර ඇත. එනම් බහුතර සමාජ මතයේ සිට ම ශුක්‍රාණු දායකයාව චිත්‍රණය කර ඇත. කොටින් ම කිව්වොත් අර කියූ පරිදි ම ශුක්‍රාණු දායකයාව සමච්චලයට, කටගැස්මට ගෙන ඇත.
ඒ ඇයිදැයි ඔබට කියවන් යද්දී තේරුම් කරන්නට පොරොන්දු වෙමි….

චිත්‍රපටයේ දර්ශන….

ශුක්‍රාණු දායකයා මත්තේම නැහෙන්නැතිව කතාව සමාජ භේද හරහා ද ගමන් කරවන්නේ ය. ඒ මගින් කතාව ට විවිධත්වයක් මෙන් ම යම් වටිනාකමක් ද එකතු වන බව ප්‍රකාශ කරමි. ඉන්දියාව යනු ප්‍රාන්ත රැසක්, භාෂා රැසක් ඇති විශාල සමාජ විවිධත්වයක් ඇති රාජ්‍යයකි. එහි ප්‍රාන්ත අතර පවා බිම් මට්ටමින් පමණක් නොව මිනිස් මානසික මට්ටමින් ද සීමා මායිම් ඇත. බෙංගාලි කෙල්ලෙකුට නිදහසේ පංජාබි කොල්ලෙකු ව බඳින්නටවත් බැරි ඒ නිසා ය. ( 2 States චිත්‍රපටය පුරා ඇත්තේ ඔවැනි සංතෑසියක් ය. )  ඉතින් ශුක්‍රාණු දායකයෙක් පස්සේ දුවන කතාවක් මගදි පොඩ්ඩක් ගිමන් හරින ගමන් අන්න ඒ හරසුන් බෙදීම්වලටද හීනි පහරවල් කීපයක් ඇනගන යන අයුරු ප්‍රශංසනිය ය.

අනලස ව එක හුස්මට බලා හිටිය හැකි චිත්‍රපටයක් බව කියමි. එය වින්දනීය ය. සිනා සිසී බලා සිටිය හැකි ජාතියේ ය. විකීගේ චරිතය මෙන් ම දොස්තර චඩ්ඩාගේ චරිතය ද ඔබව සිනමාපටයට ඇද බැඳ තබා ගනු ඇත. චඩ්ඩාගේ වචනයෙන් කියනවානම් චඩ්ඩා “ආතල් ශුක්‍රාණුවකි” ( Funny sperm ) , “විකී හිතක් පපුවක් නැති ශුක්‍රාණුවකි” ( Heartless Sperm ) අධ්‍යක්ෂකවරයා හාස්‍යජනකව චරිත හඳුන්වා දෙන්නේ එලෙස ය. චිත්‍රපටයේ තේමාවට අලලා ය.

Plastic sperm එකක් අතැති Funny Sperm එක Chadda ලෙස Annu Kapoor

එක අතකින් කියවන ඔබ (Curious Sperm) “කුතුහලජනක ශුක්‍රාණු” බවට පත්කොට චිත්‍රපටය පෙන්වීම මේ ලිපියේ අරමුණය.. මේ තරම් දුර කියවන් යන ඔබනම් දැනටමත් එවැන්නන් ය.

මුල භාගයේ මා සඳහන් කල සමච්චලය දෙවෙනි භාගයේදී සුමට වක්‍රයක් ලෙසින් අඩු වන සැටි පෙනී යයි.. සැබැවින්ම ඔබටත් නොදැනී මුලින් අපි උඩ පැන පැන හිනා උනු ශුක්‍රාණු දායකයා ගැන මහත් ගෞරවයකින් බලන තැනක් දක්වා අධ්‍යක්ෂකවරයා සුමට ගමන් මාර්ගයකින් චිත්‍රපටය පදවන්නේ ය.

යම් අවස්ථාවක Heartless sperm ( විකී )  , Emotional Sperm එකක් වනු ඔබට පෙනෙනු ඇත. එය චිත්‍රපටයේ හැඟීම් අතින් උච්ඡ ස්ථානයක් ය. ඒ මොහොතේ ආදරය/ කරුණාව/ හාස්‍ය / විස්මය/ සෑහීම කියන සියළු හැඟීම් එකට දැනෙනු ඇත. එමෙන් ම ආයුශ්මාන්ගේ මුහුණෙන් ද ඒ දියවූ මිශ්‍ර හැඟීම හොඳින් එලියට පනිනු ඇත..

එක් අතකට ශුක්‍රාණු දායකයෙක් ජාතියේ පියෙක් ලෙස අර්ථකතනය කල හැකි ය.

නැතහොත් දානශීලී අයෙකු ලෙස ගෞරව කල හැකි ය. කෙසේ හෝ චිත්‍රපටය බලා අවසන් වන විට බොහෝ අයගේ ශුක්‍රාණු දායකයා පිළිබඳ චිත්‍රය වෙනස් වනු ඇත. චිත්‍රපටය තුල සෙසු චරිතවලට දැනෙන ආකාරයටම එය වෙනස් වනු ඇත.

අධ්‍යක්ෂකවරයාගේ මුලදී කියූ සූක්ෂම බව එය ය. මුලින් විකී ව සමච්චල් සහගත ව නිරූපණය කරන්නේ ත් ඔහු ම ය. ඒ බහුතර සමාජය සහ අත්වැල් බැඳ ගනිමිනි.එම සමාජය ඉන්පසු සුමට මාර්ගයක් ඔස්සේ ගෙන ගොස් ඔවුනගේ පෙර කී චිත්‍රය වෙනස් කරන හැටි සැබැවින් ම සුමට ය. සුදුසු ම වචනය එය ය. ඒකට කියන්නේ හිස අතගා කන අතගෑම කියා ය.

එමෙන් ම සෙසු නළු නිළියන්ගේ දායකත්වය ද ඇගයිය යුතු ය. යාමි ගෞතමි ද මෙහි ආයුශ්මාන් ට මනා සහයෝගයක් ලබාදෙනු පෙනෙන්නට ඇත..

කෙසේ හෝ,

මෙය නො නැරඹූ ඔබ වැනි Unwatched Sperm එකක් Watched Sperm එකක් බවට පත් කිරීමට දැරූ මාගේ වෑයම සාර්ථකදැයි නැද්දැයි දන්නේ ඔබ ය.

ස්තූතියි !

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි