MoviesNewsඅපරාධ (Movies)නාට්‍යමය (Movies)

සන්ධි නොපෙනෙන අසන්ධිමිත්තා – SPOILER ALERT

– බලපු අය විතරක් කියවන්න –

අසන්ධිමිත්තා බැලුවෙමි. අවංකවම චිත්‍රපටය නරඹද්දීත් නැරඹූ පසුවත් මට මහා දෙයක් තේරුණේ නෑ. අවංකවම කිවූවොත් මට දැනුණේ “Mulholland Drive” නරඹල ඉවර වුණාම මට ආපු හැඟීමමයි. ඒකට හේතුව මම චිත්‍රපටයේ දර්ශන දෙස එතරම් උවමනාවකින් බලා නොසිටීම විය යුතුයි. මම එහෙම නොබැලුවේ සිංහල චිත්‍රපටයකින් මම “Mind Blowing” හැඟීමක් බලාපොරොත්තු නොවූ නිසා. කොහොම වෙතත් චිත්‍රපටය බලා අවසන ඒ ගැන ලියවුණු විචාර සියල්ලක්ම මම කියෙවුවා. සමහර විචාර කමකට නැති ඒවා. ගෑණු කම, ගෑණු ජීවිතය, අශෝක හඳගම සිනමා භාවිතය වැනි තේමා ඔස්සේ ලියවුණු ඒ චිත්‍රපට විචාර වලට ද චිත්‍රපටයේ සැබෑවටම සිදු වුණේ කුමක් දැයි අවබෝධයක් තිබී නැත්තා වගෙයි මට දැනුණේ. එවැනි අර්ධ සත්‍ය විචාරයක් ලියන්නේ කොහොම ද.?

මම අසන්ධිමිත්තා පොත මිලදී ගත්තා. කියෙවුවා. සමන් වික්‍රමාරච්චි, අසන්ධිමිත්තා ලේඛක මහතා ලබාදී තිබූ සම්මුඛ සාකච්ඡා කිහිපයක්ම කියෙවුවා. නැරඹුවා. අහා මට චිත්‍රපටය ගැන එලියක් දැල්වුණා චිත්‍රපටය සමග සසඳා බැලූ විට පොතෙහි එන කතාව යම් යම් තැන් වලදී වෙනස් වෙනවා. එහෙත් සමස්තයක් ලෙස පොතෙහි එන කතාව මට චිත්‍රපටයේ එන කතාවට වඩා හිස්තැන් අඩු කතාවක් බව පැහැදිලි වුණා.

අසන්ධිමිත්තා යනු අතිශය ස්ථූල ගැහැණියක්. ඇය කියනා ලෙසට ඇය රාත්තල් 300 ක් බරයි. චිත්‍රපටය ඇරඹෙන්නේ ඇය මහත්මයෙකුට දෙන ඇමතුමකින්. ඔහු නිර්මාණකරුවෙක්. ඇය ඔහුට ඇගේ කතාව කියන්නට සැරසෙනවා. පසුව කතාව ඇරඹෙනවා.

බස් රථයේ යද්දී සිය අසුනේ හිඳ ගන්නා පුරුශයා (වික්‍රම ලෙස පසුව හැඳින්වේ) ඇගේ ලැම සිය වැලමිටෙන් තද කරන විට ඇය අප දෙස බලනවා. ඒ කියන්නෙ කැමරාව දෙස බලනවා. මගේ අදහසට අනුව එතැන් සිට කතාව ඇගේ කෝණයෙන් ගලායන්නක්. එතැන් සිට කතාව ඇය කියනවා. ඇය ගොතනවා. ඇයට පෙනෙන දර්ශන (දේවාලයේ දර්ශනය, පාක් එකේදී බැන වැදුණු මෝටර් රියෙන් ආ ගැහැණු තිදෙනා, ගමේ කොල්ලො දෙන්නා ) කපා කොටා ඔප මට්ටම් කරගනිමින් ඇය සිය කතාව කියනවා. ඇත්ත ජීවිතය තුල මරන්නට තබා ලංවෙන්නටවත් හිතා ගත නොහැකි, අර තරුණියන් දෙදෙනා සහ මව ඇය සිය ගෙතූ කතාව තුලදී ඝාතනය කරන්නෙ අන්න ඒ කතාව ඇතුලේ. නැතුව හැබෑ ජීවිතයේදි නෙමෙයි.

වික්‍රම සහ අසන්ධි

වේශය මාරු කරන පිරිමි දෙන්නා..? නෑ එක පිරිමියයි. චරිත දෙකක්. ඇගේ හිතේ එක පැත්තක ඉන්න වික්‍රම ඇයට යටහත් පහත්, සියලු දේ ඉටු කරන, ඇගේ රෙදි පිලි සෝදන, ඇය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන නෝංජලයෙක්. ඇගේ හිතේ ඉන්න අනිත් වික්‍රම හැඩි දැඩි, කොහෙන් හරි සල්ලි ටිකක් හොයාගෙන ගෙනැත් දෙන, ඇයටත් තග දාන තගෙක්. මේ චරිත දෙකම ඇය වික්‍රම තුලින් දකිනවා. ( පොතේනම් තියෙන්නෙ වික්‍රමගෙ බොරු කොණ්ඩය ගැලවුණාම ඉන්නෙ තට්ටයක් තියෙන වික්‍රම විදිහට ) ඇය එක්කෙනෙක්ට ආදරය පෙන්නනවා. අනිකාට වෛර කරනවා. ඒත් ඇය පිරිමියෙක් තුලින් ඒ චරිත දෙකම බලාපොරොත්තු වෙනවා. ඒ අස්සේ මේකට තව ගෑණියෙක් ඇති කියලත් ඇයට හිතෙනවා..! (අර මිනී පෙට්ටියේ දර්ශනය)

අසන්ධිමිත්තා චිත්‍රපටයෙන්

ඇත්තටම සැබෑ ජීවිතය ඇතුලේ මිනී මැරුමක් වෙන්නෙ නැහැ. මිනී මැරුම වෙන්නෙ ඇගේ කතාව ඇතුලේ. ඇය ගෙතූ කතාව ඇතුලේ, ඒකට හොඳ සාක්ශියක් අපට ලැබෙන්නේ “පොලීසිය විසින් ඇය අත්තඩංගුවට නොගෙන, ඇය පොලීසියට භාර වීමෙන්”. ඇය මුලින්ම කියන්නේ පොලීසිය ඇය හොයන බව. කතාව කියනකල් පොලීසියෙන් බේරිලා ඉන්න ඕන බව. ඒත් කතාව භාගයක් කියපු ඇය, ස්ව කැමැත්තෙන්ම පොලීසියට භාර වෙනවා.

චිත්‍රපටය බලද්දි මට තේරුණා එකම එක දෙයක්. ඒ වික්‍රම කියල ගොඩ නගන චරිතය මනස්කල්පිත චරිතයක් බව. ඒකට හේතුව උනේ ඒ චරිතය අසන්ධිමිත්තගෙ කතාවෙන් පිට චරිත එක්ක කිසි දවසක සම්බන්ධ නොවීම. හන්දියෙ කඩේ මුදලාලි ඔහු සමග සම්බන්ධ බව අසන්ධිමිත්තගෙ කතාවෙන් අපට පෙනුනත් එහෙම කෙනෙක් දන්නෙවත් නැති බව ඔහු කියනවා. අන්තිමට වික්‍රම හම්බවෙන්න යන ගමනත් කෙලවර වෙන්නේ උපන්දින පුදුම කිරීමකින්. (පොතේනම් මේක මෙහෙම වෙන්නෙ නෑ. පොත ඉවර වෙන්නෙ වික්‍රම කෙනෙක් ඉන්නවද..? නැද්ද..? කියන කුතුහලාත්ම තැනක කියවන්නාව නවත්තලා) ඒ හන්ද වික්‍රම කියල කෙනෙක් නැති බවනම් මට ස්ථිර වුණා චිත්‍රපට ශාලාවේදීම. නමුත් ඉතුරු තුන පහ ටික මම හොයාගත්තෙ චිත්‍රපට ශාලාවෙන් එලියෙදී.

ඇයි අසන්ධි මෙහෙම දෙයක් කරන්නේ. ඒක මාර ප්‍රශ්නයක්. කෙනෙක්ට මෙහෙම බොරුවක් කියලා, සිර ගත වෙන්න, ප්‍රසිද්ධ වෙන්න තියෙන ආසාව මොකක්ද..? ඒක ඔය කතාව ගැන හිතන්නැතුව අසන්ධිගෙ ඇත්තම ජීවිතය ගැන හිතුවම අපට තේරුම් ගන්න පුලුවන්. ඇය ගෙවන්නෙ කාගෙවත් අවධානයට ලක් නොවන ජීවිතයක්. ඇගේ ජීවිතය ඒකාකාරීයි. ඇය විවාහ කිහිපයක් අසාර්ථක වූ කාන්තාවක්. ඇය අවධානය හොයන්න මේ දේ කරන බව පේන්න තියෙනවා. නිර්මාණ කාරයෙක්ට කතාවක් කියලා, වැරැද්දක් කල බවට පොලීසියට භාර වෙලා ඇය රටේම අවධානය දිනා ගන්නවා. ඒ වගේම ඇය ඇගේ අසාර්ථක විවාහය අර පාකින් ලොට් එකේදි හමුවන තරුණියගේ ජීවිතයට ආදේශ කරමින් සතුටු වෙනවා. (මම විතරක් නෙමෙයි. පට්ට පොශ් කෑලි පවා පිරිමින්ට රැවටෙනවා වගේ ආතල් එකක් )

වික්‍රම සහ සමදරා

කතාවේ එක තැනකදි වික්‍රම මෙහෙම කියනවා.

“පාරෙ ඉන්න බලු පැටියෙක් කවුරුවත් ගණන් ගන්නෙ නෑ. හැබැයි ඌ වාහනේකට අහුවුනාට පස්සෙ හැම වාහනයක්ම උගෙ මිනිය බේරන් යනවා. ඌට ජීවත් වෙලා ඉඳිද්දි නැති අවධානයක් මැරුණම ලැබෙනවා.”

මේ වික්‍රම කියන්නෙ අසන්ධිගෙම හිතේ මැවෙන චරිතයක් නිසා, මේක අසන්ධි හිතන විදිහ කියල අපට හිතන්න පුලුවන්. අසන්ධි ඇත්තටම කරන්නෙ කම්මැලි වෙච්ච, ඒකාකාරී වෙච්ච, කාගෙවත් අවධානයක් යොමු නොවිච්ච තමන්ගෙ චරිතය අල්ලල, ඒකට තමන් එහෙන් මෙහෙන් දකින තවත් සිද්ධි ටිකක් එකතු කරල ලස්සන කතාවක් ගොඩ නගන එක.

“මැරුණම බල්ලට අවධානය එනව වගේ, අසන්ධි හිරේ යද්දි ඇයටත් අවධානය එනවා ”

චිත්‍රපටයේ අන්තිමට වික්‍රම අපට පෙන්නනවා. ඔහු ඇත්තටම ඉන්න මනුස්සයෙක් වෙන්නැති. අසන්ධි ඇගේ හීන ලෝකය තුල ඔහුව දිගු ගමනක් අරගෙන යද්දි, වික්‍රම තවත් ගෑණු ළමයෙක් ලඟ වාඩි වෙලා ඇයව දැලේ දාගන්න උත්සාහ කරනවා ඇති.

කොහොම වුණත්.., චිත්‍රපටය බලන වෙලාව ඇතුලෙ විතරක් අපිව ආතල් එකේ නොතිය, ගෙදර ගිහිනුත් ගිහින් ඒ ගැන හොයන, කල්පනා කරන, හිතන ප්‍රේක්ශකාගාරයක් මෙ සිරිලකත් බිහි කරන්නට හඳගම මහත්තය මේ ගත්තු උත්සාහයට ස්තූතියි..!

– මහේල හෙට්ටිආරච්චි ලියමනක් –
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි