MoviesNewsආදර කතා (Movies)නාට්‍යමය (Movies)හින්දි (Movies)

මගේ නම ඛාන්.. මම ත්‍රස්තවාදියෙක් නෙමෙයි..!

රිස්වාන් ඛාන් ඔබට කියන කතාව

“මගේ නම රිස්වාන් ඛාන්. ( ඛාන්. ඛාන්. මහප්‍රාණ “ක” යන්න) මම අනිත් අයට වඩා වෙනස්. ගොඩක් වෙනස්. මම වෙනස් වෙන්නෙ ඇස්පර්ගර්ස් සින්ඩ්‍රෝම් කියන වෙනස් තත්වයත් එක්ක. මට කහ පාට පේන්න බෑ. මට ලොකු සද්ද ඇහෙනකොට මුලු ඇඟම අවුල් යනවා. හිත කලබල වෙනවා. මම දැන් ඉන්නෙ ඇමරිකාවෙ. මෙහේ ගොඩාක් ගොඩාක් ලොකුයි. ලොකු මන්දිර, ලොකු බිල්ඩින්, ලොකු මිනිස්සු, ලොකු වාහන.. හැමදේම ලොකුයි. “

 

ඔබ කැමති ද රිස්වාන් ගෙ කතාව අහන්න. නැත්නම් මම එයාගෙ කතාව විස්තර කරන්නද..? අපි දෙන්න හවුලේ කතා කරන්නම්. රිස්වාන් ඉන්දියානු මුස්ලිම් වරයෙක්. අර කිවුව අමුතු නම තියෙන ලෙඩ රිස්වාන් ට තියෙනව ඇත්තටම. ඇත්තටම රිස්වාන් ගැන කතා කරද්දි එයාගෙ හොඳ ඇරෙන්න වෙන කිසිම දෙයක් මට කියන්න ඔලුවට එන්නෙත් නෑ. දෙවියො හොඳ මිනිස්සු මවන්නෙ මොකක් හරි අඩු පාඩුවක් එක්කලු. ඒත් රිස්වාන් ඒ අඩු පාඩුව කවදාවත් අඩුවක් කරගත්තෙ නෑ එයාගෙ ගමනට. මේ ලෙඩ එක්ක රිස්වාන්ට තව හැකියාවන් ටිකකුත් උරුම වෙලා තියෙනවා. ඕනම කලු වලාවක රිදී රේඛාවක් තියෙනව කියන්නෙ අන්න ඒකට වෙන්න ඇති. රිස්වාන්ට හොඳ මතකයක් තියෙනවා. ඒ වගේම හොඳ දැනුමක්. රිස්වාන් ඕනම දෙයක් ඉක්මනටම ඉගෙන ගන්නවා. ඒ වගේම හොඳම තත්වයේ හදවතක් ඔහුට ලැබිල තියෙනවා. ඔව්.. හොඳම තත්වයේ හදවතක්. ඒක අපි කාටවත් නැති තරම් හොඳ වර්ගයේ එකක්.

 

රිස්වාන් ඛාන්

 

“අනේ ඒ කතා අහන්නෙපා. මම එච්චරම හොඳ නෑ. හැබැයි මගේ අම්ම නම් හොඳයි. මට හම්බවෙච්ච හොඳම කෙනා එයා වෙන්නැති. හොඳම හොඳම. ඔව් හොඳම කෙනා. එයා තමා මාව පණ වගේ බලාගත්තෙ. ඉස්කෝලෙන් මාව ප්‍රතික්ශේප කරපු වෙලාවෙ ගමේ හිටපු වයසක මාස්ටර් කෙනෙක් ලඟට මාව එක්කගෙන ගිහිල්ල වැඳල වැඳලා එයාට කියල මට ඉගැන්නුවේ අම්මා. මගේ පොඩි පොඩි දේවල් පවා අම්මා ලොකු සතුටකින් භාර ගත්තා. ඔව් ලොකු සතුටකින්. ලොකූ සතුටකින්. එයා මට පොඩි කාලෙම ලොකූ කතාවක් කියල දුන්නා.

“රිස්වාන් ලෝකෙ මිනිස්සු වර්ග දෙගොල්ලයි ඉන්නේ. එක කට්ටියක් හොඳ වැඩ කරන හොඳ අය. අනිත් අය නරක වැඩ කරන නරක අය.”

අම්ම කියපු ඒ කතාවෙ අගේ තේරෙන්නෙ දැන් නොවැ. ඇත්තටම ඇමෙරිකාවට ආවට පස්සෙ ජීවිතේ ගොඩක් වෙනස් වුණා. ඔව්. ගොඩාක්. ගොඩාක්.”

 

රිස්වාන් ඇමෙරිකාවට ආපු එකෙන් එයාව ඇත්තටම වෙනස් වුණා. රිස්වාන්ගෙ මල්ලි ඇමෙරිකාවෙ රූපලාවන්‍ය නිශ්පාදන ආයතනයක අයිතිකාරයෙක්. රිස්වාන්ට මල්ලිගෙ කම්පැනියෙ රස්සාවක් ලැබුණා. ඒ තමා රූපලාවන්‍ය ආයතන වලට ගිහිල්ලා මේ නිශ්පාදන හඳුන්වල දෙන එක. රිස්වාන් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. රිස්වාන්ගෙ ලස්සන හිනාව එක්ක, පාඩම් කරගත්තු වචන ටිකත් එකතු කලාම එන ආකර්ශනය නිසාම රූපලාවන්‍ය ආයතනවලින් මේ නිශ්පාදන මිලදී ගත්තා. ඒ අතරෙදි තමයි රිස්වාන්ට මන්දිරා හම්බවෙන්නෙ.

මන්දිරා – රිස්වාන් – සමීර්

“මන්දිරා ගැන මම කියන්නම්ද..? මන්දිරා. මන්දිරා. මන්දිරා. මට ලොකූ පොතක් වුනත් ලිවිය හැකි මේකි ගැන. මන්දිරා ලස්සන කෙල්ලෙක්. මම හම්බවෙනකොට එයාට පොඩි කොල්ලෙකුත් හිටියා. කොල්ලගෙ නම සමීර්. මේ කොල්ලගෙ තාත්ත ඒ කොල්ල ගැනවත් හිතන්නැතුව ඒ කොල්ලව අත ඇරල ගිහිල්ලයි තිබ්බේ. මට මන්දිරාට ආදරේ හිතුණා. ඒක අමුතුම හැඟීමක්. අමුතුම. අමුතුම එකක්. මන්දිරත් මට අන්තිමට කැමති වුණා. එයා ඇත්තටම හරිම විනෝදෙන් ඉන්න කැමති ගෑණියෙක්. අපි දෙන්න බැන්දා. සමීර්, සමීර් ඛාන් වුණා. මන්දිරා, මන්දිරා ඛාන් වුණා. ඔහොම ටික කාලයක් යද්දියි ලෝකෙ අනිත් පැත්තටම පෙරලුණේ.”

 

රිස්වාන් ඔය කියන්නෙ 9/11 ඇටෑක් එක ගැන. ඒක රිස්වාන්ලගෙ මන්දිරාලගෙ ලෝකෙ කුඩු පට්ටම් කරල දැම්මා. මුස්ලිම් වරයෙක් වීම නිසාම රිස්වාන්ව මහ සමාජෙන් ප්‍රතික්ශේප කලා. ඛාන් නම තිබ්බ හන්දා මන්දිරාවත්, සමීර්වත් ප්‍රතික්ශේප වුණා. අපට ඒ මිනිස්සුන්ට වැරැද්දක් කියන්නත් බෑ. ඒ මිනිස්සු හිටියෙ බයෙන්. බුර්කාවක්, හිජාබ් එකක්, රැවුලක්, මුස්ලිම් නමක් දැක්ක තැන ඈත් වෙන්න ඒ මිනිස්සු පටන් ගත්තා. ඒ අතරෙදි කොහොමවත්ම පිලිගන්න බැරි දෙයක් සිද්ධ වුණා. රිස්වාන් ඒක ගැන කතා කරන්නවත් කැමති වෙන එකක් නෑ. “ඛාන්” කියන නම නිසා කවුරු හරි මිනිස්සු ටිකක් සමීර්ව ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එකේදි මරල තිබ්බා. එතනින් පස්සෙ මන්දිරා පවා රිස්වාන්ව ප්‍රතික්ශේප කලා. අහිංසක ඒකි ඒක කලේ කරන්න දෙයක් නැති කමට.

සමීර් මිය ගිය පසු රිස්වාන්ට චෝදනා නගන මන්දිරා

 

“මන්දිරා මට කෑ ගහල කිවුවා “ඇමරිකාවෙ ප්‍රසිඩන්ට් ට ගිහිල්ල කියන්න ඔයා ත්‍රස්තවාදියෙක් නෙමෙයි කියලා. ඛාන් කියල නම තිබ්බ පලියට අපි ත්‍රස්තවාදියො නෙමෙයි කියලා එයාට කියන්න.” මන්දිරා අඬ අඬ එහෙම කිවුවා. මගේ ජීවිතේට වටිනාකමක් දුන්නු ගෑණියෙක් මෙහෙම අඬලා කියන දෙයක් මට නොකර ඉන්න පුලුවන්ද..? මම යන්න පටන් ගත්තා ඇමෙරිකාවෙ ජනාධිපතිව හොයාගෙන. එයා එනව කියල තිබ්බ හැම තැනටම මම යන්න පටන් ගත්තා. ඒ ගමන යද්දි මට හිරේ යන්නත් උනා. තව කිවුවොත් ඒ යද්දි මට මිනිස්සු ගොඩක් හම්බවුණා. ගොඩාක් ගොඩාක්. ආගම ජාතිය නෙමෙයි මම බැලුවෙ ඒ අය හොඳ අයද නරක අයද කියලා. හොඳ, අහිංසක මිනිස්සුන්ට මම ජීවිතේම කැප කරලා උදවු කලා. ජීවිතේම. ඔව් ජීවිතේම. ඇත්තටම අම්ම මට උගන්නපු දේ හැම තැනදිම මම ආයෙත් ආයෙත් ඉගෙන ගත්තා.”

 

දුර ගමනක් අතරතුර රිස්වාන්

 

රිස්වාන් මෙක්සිකෝවේ ගමකට ගිහිල්ල තිබුණා. ඒ ගමේම ඉඳලා තිබුණා ටික කාලයක්. ඒ මිනිස්සු රිස්වාන්ට හොඳට සලකලා තිබුණා. පස්සෙ ඇමෙරිකාවට ආවම ඒ ගමට ගංවතුරක් ඇවිල්ල තියෙනවා කියලා රිස්වාන් දැක්කේ නිවුස් වලින්. එයා හැම වැඩක්ම දාල තමන්ට උදවු කරපු මිනිස්සු වෙනුවෙන් හිස් අතින්ම මෙක්සිකෝවට ගියා. ඒ ගම හොයාගෙන ගිහිල්ල උදවු කරන්න පටන් ගත්තා. ඒක ටී වී චැනල් වලින් පෙන්නන්න අරගෙන තව මිනිස්සු තව දේවල් අරගෙන මෙක්සිකෝවට ආවා. තව තැනකදී රිස්වාන්ට පල්ලියකදී අන්තවාදී මත තියෙන මුස්ලිම් මිනිස්සු ටිකක් හම්බවෙලා තිබ්බා. රිස්වාන් එයාල ගැන පොලීසියට කියල තිබ්බා කෝල් එකක් දීල.

 

“මම අන්තිමට යන්තම් ජනාධිපති තුමාව හම්බ වුණා. හැබැයි අලුත් ජනාධිපති කෙනෙක් තමා මට හම්බවුණේ. පලවෙනි කලු ජාතික ජනාධිපතිතුමා. බැරැක් ඔබාම මහත්තයා. මම එයාට කිවුවා “මගේ නම ඛාන්. මම ත්‍රස්තවාදියෙක් නෙමෙයි” කියලා. එයා ඔලුව වනලා, හිනාවෙලා කිවුවා “ඔව් මම දන්නවා” කියලා. එයා දන්නවනම් අපරාදෙ කියන්න මෙච්චර මහන්සි වුනේ කියලත් මට හිතුණා. ඒ උනාට කමක් නෑ. මන්දිරාට වුණු පොරොන්දුවනේ ඒ ඉශ්ට වුණේ.”

ජනාධිපති හමුවූ රිස්වාන්

රිස්වාන් අපේ රටේ මුස්ලිම් ජනතාවටත් හොඳ ආදර්ශයක්. අන්තවාදය දැක්ක තැන එයට එරෙහි වෙන්නත්, ආදරණීය තැන් වලදී ආදරය පතුරවන්නත් රිස්වාන් අපට පාඩමක් කියල දෙනවා. අද අපේ රටේ කඩු, බෝම්බ හැම තැනින්ම හම්බවෙනවා. ඒකෙන් පේන්නෙ අපේ රටේ මුස්ලිම් ජනතාව මේ අන්තවාදය දැක දැකත් නිහඬව හිටිය කියන එකද..? රටේ මිනිස්සු ඉන්නෙ බයෙන්. තැති ගැන්මකින්. දැන් අපේ රටට ඕන රිස්වාන් වගේ මුස්ලිම් අය. ආදරය බෙදන අන්තවාදයට එරෙහි වන මුස්ලිම් අය. නැත්නම් අනිත් මිනිස්සුන්ගෙ සැකේ කවදා දුරුවෙයිද මන්දන්නෙ නෑ.

 

“අන්තිමට මම තව දෙයක් කියන්නම් ද..? ඔබ හිතන්න එපා ඔබ හොඳ මුස්ලිම් ජාතිකයෙක් විය යුතුයි කියලා. ඔබ හිතන්න එපා ඔබ හොඳ ඉස්ලාම් ආගමිකයෙකු විය යුතුයි කියලා. ඔබ හිතන්න ඔබ හොඳ වැඩ කරන හොඳ මනුස්සයෙක් වෙන්න ඕන කියලා. හොඳ මනුස්සයොයි අපේ ලෝකෙට ඕන වෙන්නෙ. ඒකයි මට අදටත් මිනිස්සු ආදරය කරනවා ඇත්තේ “

 

අපි අප බයට පත් කරන දේවල් වලට වඩා ශක්තිමත්.
අපි අපව සීමා කරන දේවල් වලට වඩා විශිෂ්ටයි.
අපි සතුව නමකට එහා ගියපු දෙයක් තියෙනවා.

මගේ නම ඛාන්. මම ත්‍රස්තවාදියෙක් නෙමෙයි..!

 

ශ්‍රී ලාංකීය මුස්ලිම් සහෝදරවරුණි.., අපි ඔබෙන් රිස්වාන් ලා බලාපොරොත්තු වෙමු..!

මම : මහේල හෙට්ටිආරච්චි

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි