Moviesආදර කතා (Movies)නාට්‍යමය (Movies)හොල්මන් (Movies)

ඝරසරප – කපු කුමාරයාගේ කතාව

ඝරසරප (2018)

ජයන්ත චන්ද්‍රසිරි….

අකාල සන්ධ්‍යා, දඬුබස්නාමානය වැනි සිංහල ටෙලි නාට්‍ය කර්මාන්තයේ හැරවුම් ලක්ෂ කීපයක් ම නිර්මාණය කල මහා නිර්මාණකරුවාගේ නවතම/ආසන්නතම චිත්‍රපටය
“ඝරසරප” ….

මේ ඝරසරප ගැන පසු විපරමක්..

ඝරසරප යනු සාර්ථක චිත්‍රපටයක් ද? නැතිනම් අසාර්ථක චිත්‍රපටයක් ද? එසේ කවුරුන් හෝ මගෙන් විමසුවහොත් මා උභෝතෝකෝටියකට මුහුණ දෙනු ඇත. එහි අවසන මා එය සාර්ථක චිත්‍රපටයක් බව කියනු ඇත. ඊට හේතුව මෙහි ධන ලකුණු මෙන්ම සෘණ ලකුණු ද මා හමුවූ නිසා ය. තැටි තරාදියකට දමා කිරුවහොත් ධණ ලකුණු මදක් බර බව පෙනෙනු ඇත. ඉතින් එය සාර්ථක චිත්‍රපටයක් යැයි කියන්නේ ඒ නිසා ය.

ඒ ධන සාධක සහ සෘණ සාධක මොනවාද? මෙතැන් සිට කියවමු….

ආරම්භය

ඝරසරප ආරම්භය, හාහ්.. එය සුපිරි ඝනයේ ප්‍රවිශ්ට වීමකි. මෑත යුගයේ සිංහල චිත්‍රපටයක දුටු සාර්ථකම ප්‍රවිශ්ට වීමකි. දිය ඇල්ල අසල දර්ශන කෙසේ වෙතත්, ආරම්භයේ ම වාදනය වන “දිව්‍ය නදී ගලා යාද” ගීතය කලකට තොල් අතර මිමිණෙනු ඇත. එමෙන්ම “සඳරැස්” ගේ අතීතාවලෝකනය වන අවස්ථාව, මෙහි ප්‍රබලම දර්ශන පෙල ඇත්තේ එතැන ය. පල්ලිය දෙසට වැව් අසබඩින් ගුරු පාරදිගේ ඇදෙන රථ පෙලකි. ගුප්ත බවක් එක්කරන පසුබිම් ආමන්ත්‍රණයකි. විටෙක සංගීතයෙනි. විටෙක ජැක්සන් ඇන්තනිගේ කටහඬිනි.

ජැක්සන්ගේ කටහඬින් චිත්‍රපටයට දුන් ආලෝකයනම් සුළුපටු නොවේ. ආරම්භයේදීම රථ පෙල යන අස්සේ ඇහෙන ඔහුගේ  හඬින් ප්‍රේක්ෂක සිත් කිලිපොලා යැවීමට සමත්කම් දක්වයි. භාෂා විලාසය ද අනර්ඝ ය. ජැක්සන් ඇන්තනී චිත්‍රපටයේ රුව ට වඩා ප්‍රදර්ශනය කරන්නේ හඬ ය. සැබැවින් ම එය වඩා ත් නුවණක්කාර තීරණයකි. මන්ද ජැක්සන් ඇන්තනිගේ හඬින් කල හැකි, කර තිබූ කර්තව්‍යනම් අති මහත් ය. අනෙක් කරුණ ජැකා ගේ ( කළු කුමාරයාගේ ) හිසෙහි දඟලමින් සිටින අතිශය කෘත්‍රිම නාග රූප ය. එය පෙන්වනවාට වඩා නොපෙන්වා සිටීම නුවණක්කාර යැයි කියන්නේ එය එතරම් ම අතාත්වික නිසා ය.

කමල් අද්දරආරච්චි සහ අමීෂා කාවින්දි

ආරම්භයේ සිට ම “පල්ලිය භූමියේ” සිද්ධීන් දාමයක් සේ එකිනෙකට ඇමිනෙමින් ගෙතෙන කතා ව මනහර ය. ගලායන ස්වභාවය උපරිම ය. කළු සුදු වන දර්ශන, ආවේශ වීමේ දර්ශන වෙනයම් මට්ටමක ගුප්ත බවක් සිතට ඇතුළු කිරීමට සමත් ය. එම රසය විස්තර කරන්නට වචනයක් සිහියට නැගෙන්නේ නැත. කිව හැක්කේ එය වෙනයම් ම සිනමා අත්දැකීමක් බව ය. ඒ වෙනයම් මට්ටම “ජයන්ත චන්ද්‍රසිරි” විය යුතු ය.

ජැකා ගේ හඬ ට , ජයන්ත චන්ද්‍රසිරි ගේ මෙහෙයවීමට නොදෙවෙනි ඊළඟ නළු පෞරුෂය කමල් අද්දරආරච්චිය. මෙහිදී නැවත නැවතත් ඔහු ඔප්පු කරන්නේ තමා මේ දූපතේ සිටිනා ඉහළම රංගධරයෙක් බව නොවේද?

අනපේක්ෂිත ම සිද්ධිය කවින්ද්‍යා අධිකාරී ය. හිරිමල් ගායිකාවක් ඒ රඟන රළු වූ සුමුදු කාන්තා චරිතය දෙස මා බලා සිටින්නේ මුව අයා ය.එය එතරම් අනපේක්ෂිත ශිල්ප දැක්වීමක් ය. ඇසේ කළු ඉංගිරියාව කොහේදෝ හංගමින් පරල වූ ඈ සහ ඇගෙ සාත්වික අභිනය මා හට නිළි වෙසින් වැසුණා ය. ඇගේ පෙම්වත් චරිතය රඟපෑ දෙව්නක පොරගේ ගේ සහය ද ඈගේ රංගනය තීව්‍ර කිරීමට උඩ ගෙඩි දී ය.

කාවින්ද්‍යා ගේ සුපිරි රංගනය

මේ චිත්‍රපටයේ වෙන සිංහල චිත්‍රපටවල තිබෙන අඩුපාඩුවක් අකා මකාගෙන තිබිණ. ඒ ජන නළු භාවිතය ය. එනම් දර්ශනතල පාලුවට නොයවා අහඹු මිනිසුන් ඒවායෙහි රැඳවීම ය. සාමාන්‍ය පරිසර ය මැවීම ය. එමෙන් ම සුළු චරිතවලට පවා ප්‍රවීණයින් යොදා ගැනීම ය. ඉන් හිස් බව අකා මකාගෙන තිබිණි. නිර්මාණයට පිරිපුන් බවක් ලබා දී තිබිණි. ඇතැම් සිංහල චිත්‍රපටවල අතිශය ජනාකීර්ණ ස්ථාන පවා ජනශූන්‍ය කලාප ලෙස පෙන්වනු ඔබ දැක ඇත. නළු නිළියන් හැර මැස්සෙක්වත් ඒවායේ නැත.

ඒ සියළු ධන ලකුණු උඩින් අවසානය කරා පැමිණෙන චිත්‍රපටය අවසානයේ නම් සිදු කරන කර්තව්‍ය හාස්‍යජනක ය. කළුකුමාරයා මගුල් කපුවෙකු බවට පත් කරමින් කතාව නිම වන්නේ ය. පෞද්ගලික රෝහලක හෙදියකගේ අනපේක්ෂිත කරණම් සරඹයකින් කතාව නිම වන්නේ ය. කළුකුමාරයා විහිළුවක් වන්නේ ය. කමක් නැත. මෙවර පමණක් සමාව දිය හැක. මන්ද ධන කරුණු රාශියක් මතු කර ගැනීමට ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයා සමත් වූ නිසාවෙනි. ඒ ගෞරව ඔහුට ය. නළු නිළියන්ට ය. චින්තක ජයකොඩි නම් සංගීතඥයාට ය .

කාවින්ද්‍යා අධිකාරී සහ දෙව්නක පෝරගේ

අර ඉස්සර හිටපු ජයන්ත චන්ද්‍රසිරි තාමත් ඉන්නවා යැයි එහෙන් මෙහෙන් මතු කරන්නේ මේ චිත්‍රපටය හරහා ය. ඉස්සර හිටි සම්පූර්ණ ජයන්ත චන්ද්‍රසිරි ව සොයා ගැනීම භාර ඔහුටම ය. එය ඉතා ඉක්මනින් සිදු වනු ඇත. කෙසේ හෝ 2018 වසරේ ආ හොඳම සිංහල චිත්‍රපටය මෙය යැයි ද කිව යුතුව ඇත….

ස්තූතියි!

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි