MoviesNewsආදර කතා (Movies)නාට්‍යමය (Movies)

“ජූන්” ගැන ආනන්ද් ගෙන් අහමු

මම ඉන්නවා.
හන්දියේ මාර ගහ යටට වෙලා මම ඉන්නවා.
හැමදාම වගේ මම අදත් ඉන්නවා.
කවුරු වෙනුවෙන් ද..?
අහන්නෙපා ඒක. ඒක අහල උඹත් ඒකිගෙ පස්සෙන් වැටුණොත්..?
ඔන්න ඉතින් එයා එනවා.
එයා සල්ලි ගෙවන ඉස්කෝලෙකනෙ ඉගෙන ගන්නෙ. අපි ඉතින් ආණ්ඩුවෙ ඉස්කෝලෙ උං. අපේ උං කොණ්ඩෙ එහෙම තෙල් ගාල පීරලා, මූණෙ පවා තෙල්. අමු ගොඩයො ටිකක් වගේ. මාත් වැඩි වෙනසක් නෑ බං. මාත් එහෙමයි.
ඒකට එයාලගෙ ඉස්කෝලෙ උං. කොල්ලො පවා කෙල්ලො වගේ ලස්සනයි. එක එක විදිහෙ හැඩ කෑලි ටිකකුත් ඉන්නව ඉතින්.
ඒත් දෙයියනේ මගේ හිත යන්නෙම ඒකිට. මගේ හිත යන්නෙ අර කැරලි දෙකක් බැඳපු කොණ්ඩෙට. මගේ හිත යන්නෙ අර දත් එලියට එනවට දාල තියෙන කම්බි වැට එක්ක එයා හිනාවෙද්දි මැවෙන අමුතු ලස්සනට. මගේ හිත යන්නෙ අර එක කම්මුලක තියෙන අඳුරු පාට ගැහිච්ච කැලලට. මගේ හිත යන්නෙ ඒකිගෙ තියෙන අමුතු කෝල කමට.
ඒත් එයාට..? එයාට මාව ආණ්ඩුවෙ ඉස්කෝලෙ ගොඩයෙක් විතරයි.
යාලුවොත් එක්ක එන ජූන්
බලන් හිටියට කෙල්ලො ලැබෙයිද බං..?
බලන් හිටියා..? දන්න දෙයක් කතා කරපංකො. මගේ ඇඳ යට පෙට්ටියක් ඇති. අරං වරෙං ඒක. හා බලපං. මේ ඔක්කොම ලියුම් මම ඒකිට ලියපුවා. මේ බලපං එක එක පාට පෑන් වලින් අමුණපු අකුරු. මේ මේක ලියල තියෙන්නෙ ලේ වලින්. මේ තියෙන්නෙ දෙන්න තියං හිටපු බර්ත් ඩේ කාඩ් එකක්.
ඒකි උඹට ඕව ආපහු දුන්නද එකතු කරලා..?
නෑ බං. මම මේ එකක්වත් ඒකිට දුන්නෙ නෑ. මේව දෙන්න ගියපු හැමදාම ඒකි ලඟටම ගිහිල්ල මම හැරිල ආව.
ඒකි පස්සෙන් යන එක තමයි ශෝක්ම වැඩේ හරිද..? ඒකි එක එක කෝලම් කර කර තමා පාරෙ යන්නෙ. පස්සෙන් එන්නෙ කවුද..? ඌ මොනවද බලන්නෙ..? ඒකිට ඒව වගේ වගක් නෑ බං. ගස් වලට ගහ ගහ, තනියම කියව කියව ඒකි ඔහේ යනවා පාර මැද්දෑවේ දෙපැත්තට වැනි වැනි. අනේ ඒ කාලෙ ලස්සන.
ජූන් පස්සෙන්ම වැටුණු මම
ඉස්කෝල දෙකක ඉගෙන ගත්තට, ඒකි ගියපු කොලේජ් එකටමයි මම ගියේ. ඒකි පස්සෙන් එන්න හදපු, ඒකිට එක එක විකාර කියපු හැම එකාගෙම මූණ සම්බල් කලා මම. උඹට කියන්න ඒකිවත් දන්නැතුව ඇති ඒවා. ඒ තරම් පිස්සුවක් තිබ්බේ මට. ඒ කාලෙත් ඉක්මනට ඉවර වුණා. ඒකි ජොබ් එකට මුම්බායි ගිහිල්ල තිබ්බ. මම විභාගෙ පාස් වෙලා ගමේ පොලීසියට බැඳුණා.
ඊට පස්සෙ ඒ කෙල්ල දැක්කෙවත් නෑ..?
එහෙම නේද කතාව ඉවර වෙන්නෙ..?
පිස්සුද බං. එහෙම ඉවර වෙන්නෙ නෑ කරුම. අවුරුදු සීයක් ගිහිල්ල හරි ඒව පඩිසන් දෙනවා.
දවසක් මම පොලීසියට යද්දි මේන් මේකි ඉන්නවා පොලීසියෙ. තඩි බෑග් එකකුත් පැත්තකින් තියෙනවා. හරිද..? ඇස් දෙකේ කබ පිරිලා. මේකිට නින්ද ගිහිල්ල. රෑ දවසෙම මේකි පොලීසිය ඇතුලෙලු.
ලොක්ක මට සිද්ධිය කිවුවා. මේකි බූට් එකක් කාලලු. ඒකෙ දුකට පාටි එකකදි බියර් බීල මේකි. ඊට පස්සෙ මැරයො ටිකක් එක්ක මොකක්ද කේස් එකක් දාගෙන හෙන ජංජාලයක් වෙලා. පොලීසියට ඇවිල්ල තියෙන්නෙ ඔය ඔක්කොම වෙලා අන්තිමට.
ලොක්ක මට තමා බාර දුන්නෙ ඒකිව ගෙදර ඇරලවන්න.
මාර චාන්ස් එක නේද..?
“නෑ” කියන්න බෑනෙ ඉතින්. මුලු ගමන පුරාම ඒකිගෙ මූණ දිහා ( හොරෙන් නැතුව ) බලන් ඉන්න පුලුවන් කියන්නෙ කොච්චර දෙයක්ද..? අනික බං පැය කීයක ගමනක්ද..? ජීවිතේ පලවෙනිම වතාවට එහෙම චාන්ස් එකක් ලැබුණේ. ඒකි හරිම හොඳයි මචං. දුකෙන් හිටියත්, තරහෙන් හිටියත් හිනාවෙන වෙලාවට කම්මුල් වලින් හිනාව බේරෙනවා. හරිම ලස්සනයි.
මම හැමදාම මම එයා පස්සෙන් ආපු හැටි එයාට කිවුවා. එයා නොදැන, එයා දැන දැන පස්සෙන් ආපු දවස් ගැන මම එයාට කිවුවා. එයා වෙනුවෙන් ලියපු ලියුම් එකක්වත් දෙන්න බැරුව මම ලත වුණු හැටි. එයා වෙනුවෙන් කොල්ලොන්ට තඩි බෑව හැටි. ඔක්කෝම මම කියල දැම්මා. ඔක්කෝම.
ගෙදරට ඇරලවන්න ගියපු දුරක්
ඉතින්..?
එච්චරයි. එයා ගෙදර ගියා. මම මගේ ගෙදර ගියා. ටික කාලෙකට පස්සෙ එයාගෙ වෙඩින් එකට මටත් ඉන්වයිට් කරල තිබුණා. එතකොට මාත් බැඳලා.
දැන්වත් කියපංකො ඔය කෙල්ලගෙ නම..?
ජූන් සාරා ජෝයි.
උඹ බැන්දනම් උඹේ ආදරේට මොකද වුනේ..?
ඊයෙත් අදත් හෙටත්, බැන්දත් මම ආදරේ කරන එකම කෙල්ල ජූන්.
දන්නවද..?
ආදරේ කියන්නෙ ආදරේ. කසාදෙ කියන්නෙ කසාදෙ. මිනිහෙක්ගෙ  ඔය දෙකම එකම ගෑනියෙක් වෙන්නෙ කලාතුරකින්.
අදත් ඒ හිනාව මවාගෙන පැයක් දෙකක් දවසක් වුණත් කල්පනා කරන්න මට පුලුවන්. ඒක වෙන්නැති නේද ආදරේ කියන්නෙ..? ආදරේ කලා කියලා එයා මගේ වෙන්නම ඕනද බං. ඈතින් ඉඳගෙන එයාගෙ සතුට දිහා බලාගෙන මම සතුටු වෙනවා.  ඒක තමයි ආදරේ කියන්නෙ.
ඒක ඇත්ත. ඒක නෙමෙයි උඹේ නම අහන්නත් බැරි වුණා.
ආනන්ද්.. කමිශනර් ආනන්ද්
ජූන් මට හම්බවුනොත් උඹ කිවුවා කියලා මම මොනවද කියන්න ඕන ඒකිට..?
එයාට කියන්න, අර කොන්ඩ කරල් දෙක ගොතාගෙන, කම්බි වැටකින් හිරවෙච්ච දත් එලියට දාගෙන හිනාවෙන, කකුල් සම්පූර්ණයෙන්ම වැහෙන්න මේස් දෙක දාගෙන, පාර දිගේ තනියම කියව කියව ආපු ජූන් ට මම තාමත් ආදරේ බව.
– මහේල හෙට්ටිආරච්චි ලියමනක් –
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි