Moviesආදර කතා (Movies)නාට්‍යමය (Movies)වෙනත් (Movies)හින්දි (Movies)

සිනමාවයි ජීවිතයයි – 01

 

ජීවිතය කියන්නෙම රික්තයක්. 

ඒක පුරවන්න ඕන අපි.


ඔබට ඉපදුණු දවසෙ ඉඳලම ලියන්න කියන්න පුලුවන් කියල හිතමුකො. ඔබ ඉපදිච්ච වෙලාවෙම ඔබට හිස් පොතක් ලැබෙනවා. මොකුත්ම ලිවුවෙ නැති. රූලක්වත් ගහල නැති පොතක්. ඔබ ඉපදුණ දවසෙ ඉඳලා ඔබ ඒ පොත පිරෙන්න ලියනවා. සරලවම කිවුවොත් අත්දැකීම් එක්ක ඔබ ඒ පොත ටිකෙන් ටික පුරවනවා. 


ඒත් ඒ පොතේ රූල් අඳින්නෙ අප වටා ඉන්න සමාජය. අපේ අම්මා තාත්තගේ ඉඳන්, කවද හරි අපි කසාද බැඳපු දවසක අපට ලැබෙන ළමයි දක්වාම හැම එකාම අපේ ලියන පොතේ ඉරි අඳිනවා. අපි ලියන්න ඕන ඒ ඉරි උඩ බවට උපදෙස් ලැබෙනවා. සමහරු අර කඩදාසියේ සිරස්ව තියෙන රතු පාට ඉර අඳිනවා. ඒ ඉර  පන්නල ලිවුවොත්, ජීවිතේම අවසන් වෙන්න පුලුවන් බවට තර්ජනාත්මක උපදෙස් පවා දෙනවා. 


ඉඳල හිටල අපි ඉරට පිටින් ලිවුව දවසට, රතු ඉරට එහා පැත්තට අකුරක් ගියපු වෙලාවට ඔන්න අපට දඬුවම් ලැබෙන්න ගන්නවා. බැනුම්, ගැටුම්, චෝදනා එන්න ගන්නවා. සංවර නෑ කියාවි. සදාචාර සම්පන්න නෑ කියාවි. “ළමයෙක් ඔහොමද හැසිරෙන්නෙ, පොඩි එකෙක් ඔහොමද හැසිරෙන්නෙ” කියල අහන ප්‍රශ්නය “අම්ම කෙනෙක් ඔහොමද හැසිරෙන්නෙ, තාත්ත කෙනෙක් ඔහොමද හැසිරෙන්නෙ” කියන ප්‍රශ්නය දක්වාම ඇහෙනවා. ජීවිත කාලෙ පුරාවටම එකම විදිහට සමාජයෙන් ප්‍රශ්න ඇහෙනවා. 


කාර්තික් කියන්නෙ තමන්ගෙ ආත්මය අනුන්ට යට වෙන්නට දීල, බලා ඉඳපු අහිංසක තරුණයෙක්. පොඩි කාලෙ වුණු සිද්ධියක් ගැන, හැමදාම හිතින් දුක් විඳින, ඒක තමන්ගෙ වරදක් නොවන බව දැන දැනත් ඒ ගැනම යලි යලිත් හිතන, විඳවන මනුස්සයෙක්. කවුරුහරි දෙයක් කිවුව පමණින් බය වෙන මනුස්සයෙක්. 


අපේ පොතේ අනිත් උං අඳින්නෙ ඉරි විතරයි. ඒත් කාර්තික්ගෙ පොතම ලියන්නෙ වටේ පිටේ උං. ගෙදර කුලිය ඉල්ලං එන මිනිහා, ඔෆිස් එකේ බොස්, තමන් ආදරේ කරන කෙල්ල, ඒ කෙල්ලගේ පේමවන්තයා, කුඩා කාලේදීම මියගිය ඔහුගේ සහෝදරයා, මේ මිනිස්සු ටික තමයි කාර්තික්ගෙ ජීවිත කතාව ලියන්නේ. 


ඒත් කාර්තික්ට දවසක් කෝල් එකක් එනවා. රැකියාව අහිමි වුණු, ප්‍රේමය ගැන බලාපොරොත්තු බිඳී ගිය, ජීවිතයේ තීරණාත්මක වෙලාවක කෝල් එකක් එනවා කාර්තික්ට.

කතා කරන්නෙ කවුද…? දෙවියනේ..!  කතා කරන්නෙත් කාර්තික්මයි. 


ඔව් එදා ඉඳලා කාර්තික්ට කාර්තික්ම කතා කරනවා. දුරකථනයෙන් කතා කරනවා. වැටිච්ච බිඳිච්ච ජීවිතේ කෙලින් කරගන්න හැටි කියනවා. එක එක අය රූල් ඇඳපු, අකුරු ලියපු ජීවිත පොත තමන්ගෙ අතට ගන්න හැටි ඒ කාර්තික්, මේ කාර්තික්ට කියල දෙනවා. තමන් ලියන ජීවිත කතාව අනුන් ලියන ජීවිත කතාවට වඩා ලස්සන බව ඔහු කාර්තික්ට කියා දෙනවා. 

කාර්තික්ට කතා කරන කාර්තික්



මේකෙ විද්‍යාත්මක පැත්ත බැලුවොත් මේක මානසික තත්වයක්. මෙතන තියෙන්නෙ එකම ජීවිතයක් ඇතුලෙ වෙසෙන ප්‍රතිරූප දෙකක් ගැන කතාවක්. Dual Personality Disorder කියලා මේක හඳුන්වනවා සමහර තැනක. ප්‍රතිරූප දෙකට වැඩිය වැඩිනම් Multiple Personality Disorder කියල මේක හඳුන්වනවා. එකම තත්වයක්. නම් දෙකක්. එකම ජීවිතයක්. චරිත කිහිපයක්. 


කාර්තික් ඉන්නවා. හිර වෙච්ච, කම්මැලිකාර, බෝරින්, බියගුළු, යටහත් පහත් කාර්තික්. අනිත් කෙනා තමයි කාර්තික් වෙන්න කැමති කාර්තික්. කෙලින් තීරණ ගන්න, කෙලින් කතා කරන, සිනහමුසු මුහුණින් ඉන්න, ආදරේ කරන්න දන්න කාර්තික්. 


මේ දෙවැනි කාර්තික්ව හඳුන්වන්න ලතින් Phrase එකක් තියෙනවා Alter Ego කියලා. නියම ප්‍රතිරූපය පාලනය කරන හැංගිච්ච සමාන්තර ප්‍රතිරූපයක්. 


හිස්තැනක් තියල කතාව නවත්තන්නම්. ඉතිරිය Karthik Calling Karthik චිත්‍රපටය බලන ඔබට දැනගන්න ලැබේවි. මේ වගේම කතා තියෙන බොහෝ චිත්‍රපට අපට ඉංග්‍රීසි සිනමාවෙදී හම්බවුණත්, හින්දි සිනමාවෙදි මෙහෙම චිත්‍රපට අත්දැකීමක් ලැබෙන්නෙ පලවෙනිම සැරේට. මේක මරු. බලන්න. 


කාටවත් ඔබේ ජීවිත කතාව ලියන්න දෙන්නෙපා.

එය ඔබම ලියන්න.

ඔබේ අතින්ම.


– මහේල හෙට්ටිආරච්චි –

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි