Moviesඅපරාධ (Movies)ආදර කතා (Movies)දෙමළ (Movies)නාට්‍යමය (Movies)සංගීතමය (Movies)

සිනමාවයි ජීවිතයයි – 02

වෙනස් ජීවිත යා කරන

ජීවිත වෙනස් කරන

හැඟුම් බර තීරණ

අපේ ජීවිත එකිනෙකට එකක් වෙනස්. බලාපොරොත්තු, හීන, දුර්වලකම්, දක්ශකම්, හැකියාවන්, නොහැකියාවන් එකිනෙකට වෙනස්. සරලවම කිවුවොත් මිනිස්සු විදිහට අපි හිතන පතන විදිහ පවා එකිනෙකට වෙනස්. 


ඒත් මේ දේවල් එකතු වෙන තැනක් තියෙනවා. ඒ ආදරය. කුල මල භේද, ආගම් භේද, ජාති භේද, දුප්පත් පොහොසත් භේද නොතකා ආදරය  පෙරමුණම විත් හදවත පුරාම කඳවුරු බඳිනවා. ගොඩක් වෙනස් ජාති වල එකතු වීම් සුවිශේෂී ආදර කතා බවට පත් වෙන්නෙ අන්න ඒ නිසා.

ලෝකේ මිනිස්සු ඉපදුණු දවසේ ඉඳලා දෙපැත්තට බෙදිලා තර්ක කරන ප්‍රශ්නයක් තියෙනවා. අපි තීරණ ගන්න ඕන හදවතට එකඟවද..? නැත්නම් මොලයට එකඟවද..? එකම මනුස්සය පවා හිතින් දෙකට බෙදිලා ඔය ගැන තර්ක කරන වෙලාවල් තියෙනවා.

“අර කෙල්ල පැනල ගියේ ත්‍රි වීල් කාරයෙක් එක්ක” “අරකි පැනල ගියේ බස් කොන්දොස්තර කෙනෙක් එක්ක” වගේ ස්ත්‍රීන්වම ඉලක්ක කොට ඇහෙන චෝදනා වලදී අපට අහන්න ලැබෙනවා “පපුවෙන් නෙමෙයි බං තීරණ ගන්න ඕන, මොලෙන්” වගේ කතන්දර.

ඇත්තටම පපුවෙන් ගන්න තීරණ හැඟුම් බරයි. යටි අරමුණු රහිතයි. මොලෙන් ගන්න තීරණ කපටියි. වෙනත් අරමුණු සහිතයි. ඒ උනාට ඔය දෙකම ගන්නෙ මොලෙන්ම තමා ඉතින්. ආදරය ගැන කතා කරද්දි හදවත කියන්නෙ සාහිත්‍යාත්මකව හොඳ උපමාවක් හන්දා ආදරය සම්බන්ධව ගන්න හැඟීම් බර තීරණ “හදවතින් ගන්න තීරණ” කියල හඳුන්වනවා.

Aadukalam චිත්‍රපටයේ අයිරින් ගන්නෙත් එහෙම හදවතින් ගන්න වර්ගයේ තීරණයක්. අනාගතය ගැන කිසිම නිශ්චයක් නැතුව, “මොනව වෙයිද මොනව කරන්නද” කියලා කිසිම තීරණයක් නැතුව ගත්තු තීරණයක් ඒක.

 

ආදරයෙන් බැඳුනු කරුප්පු සහ අයිරින්
අයිරින් ඉන්දියානු සම්භවයක් තියෙන ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි තරුණියක්. කරුප්පු දෙමළ තරුණයෙක්. අයිරින් හොඳට ඉංග්‍රීසිය හසුරවන්න දන්න තරුණියක්. කරුප්පු ඉංග්‍රීසි වචනයක් හෝ නොදන්න එකෙක්. අයිරින් උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඉගෙන ගන්න තරුණියක්. කරුප්පු කුකුල් පොර වලට කුකුල්ලු සූදානම් කරන තරුණයෙක්. මේ දෙන්න බැලුවොත් අහසයි පොළොවයි වගේ. නොගැලපීම් බහුලයි.

ඒත් අයිරින්ට තමන්ගෙ ජීවිතය පිළිබඳ අන්තිම තීරණය ගන්න වෙනවා බොහොම නොඉවසිලිවන්ත රැයක. තීරණයක් ගත යුතුම වෙලාවක. අයිරින් කරුප්පු සමග යන්න තීරණය කරනවා.

චිත්‍රපටයෙ තවත් විශේෂත්වයක් තමයි, කරුප්පුගෙ චරිතය ප්‍රධාන චරිතය වුණු පලියට “කරුප්පු සුපිරි චරිතයක්” නොවීම. කරුප්පු තමන්ගෙ අනාගතයේ බොහෝ තැන් “ආදරය” කියන අකුරු හතරට යට කරනවා. සල්ලි හොයන්න කුකුලව සටනට දාන්නෙ, බාර් එකේ අයිතිකාරය වෙන්න තිබ්බ සිහිනයේ නිමා වෙන්නෙ “ආදරය” නිසාමයි. එහෙම බැලුවම ඒවත් හදවතින් ගත්තු තීරණ.

විනෝදයෙන් කල් ගෙවූ කරුප්පු

පෙට්ටයිකාරන්ගෙ නෝන පෙට්ටයිකාරන් එක්ක ඇවිල්ල තියෙන්නෙත් හදවතින් ගත්තු තීරණයක් එක්ක. කරුප්පුගෙ අම්මත් දුක් විඳින්නෙ හදවතින් ගත්තු තීරණයක් නිසා. මේ ඔක්කොම දුර දිග නොබල ගත්තු තීරණ වල ප්‍රථිපල කියල බැලූ බැල්මට පැහැදිලියි. චිත්‍රපටයම දුවන්නෙ මේ හදවත මූලික කරගෙන ගත්තු තීරණ ටිකක් නිසා.

පෙට්ටයිකාරන්ගෙ චරිතය අරගන්න. මේක මම මගේ සිනමා ජීවිතයේ දැකපු සුපිරිම Character Build Up එකක්. චරිතයක් කොහොමද හොඳ තැනක ඉඳල, අපරාධකාරී මානසික තත්වයකට එන්නෙ. ඉරිසියාව, මාන්නය, වෛරය සහ බිඳ වැටීම චරිතයක් කෙමෙන් කෙමෙන් වෙනස් කරන හැටි අධ්‍යක්ශක වෙට්‍රිමාරන් අපට අපූරුවට පෙන්වල දෙනවා.

පැසුණු පෙට්ටයික්කාරන්

මේ හැමදෙයක්ම හේතු භූත කරගන්නෙ “හැඟීම් බරව ගන්න තීරණ”. එහෙම නැත්නම් “හදවතින් ගන්න තීරණ”. ඒක හරිද හෝ වැරදිද කියන එක මගෙ පරාසයෙන් එහා තියෙන දෙයක්.

ඉතින් නෝනාවරුණි මහත්වරුණි..,

Aadukulam බලන්න. ජීවිතේ යන විදිහට යන්න දෙන්න.

– මහේල හෙට්ටිආරච්චි රචනයක් –

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි